Published on: අගෝස්තු 13, 2025

අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවේ දෙවන සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවේ දෙවන සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

පසුගිය සභා වාරයේදී ගනු ලැබූ තීන්දු තීරණ සමාලෝචනය කිරීම, 2030 වන විට මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කර ගැනීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීමේදී මතුව ඇති අභියෝග සහ ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවත්, ඊට අදාළ යෝජනා පිළිබඳවත් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

අපනයන ක්ෂේත්‍රයේ දියුණුවට අදාළ අත්‍යාවශ්‍ය කරුණු රැසක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දියුණු කිරීම, රේගු කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නව ස්කෑන් යන්ත්‍රයක් ස්ථාපනය, ඖෂධ අපනයන කර්මාන්තය, කුකුළු මස් අපනයනය, තේ අපනයන සංවර්ධනය, කුළුබඩු අපනයනය, Export Hub සංකල්පය , ත්‍රිකුණාමල වරාය සංවර්ධනය, අපනයන ආශ්‍රිත ආයෝජන වර්ධනය, ඉලෙක්ට්‍රොනික අපනයන අංශයට අමුද්‍රව්‍ය සැපයීම, නව තීරු බදු ගිවිසුම්වලට අවතීර්ණ වීම සහ තීරු බදු පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් යන මහත්වරුද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, කර්මාන්ත අමාත්‍යාංයේ ලේකම් තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මීන් ඇතුළු අදාළ අමාත්‍යාංශ ලේකම්වරුද, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්වරු සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.