ආචාර්ය නන්දික සනත් කුමානායක

ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා 1997 වසරේ ශ්‍රී ලංකා රේගු සහකාර අධිකාරිවරයෙකු ලෙස රජයේ සේවයට එක් වී ඇත. මාතර රාහුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ කුමානායක මහතා කැලණිය විශ්ව විද්‍යාලයෙන් පළමු පන්ති සමාර්ථයක් සහිත විද්‍යාවේදී ගෞරව උපාධියක් ලබාගෙන තිබේ. අනතුරුව, ලෝක රේගු සංවිධානයෙන් (WCO) ශිෂ්‍යත්වයක් ලැබූ කුමානායක මහතා ජපානයේ ටෝකියෝ නුවර පිහිටි ප්‍රතිපත්ති අධ්‍යයනය සඳහා වන ජාතික උපාධි ආයතනයෙන් (GRIPS) රාජ්‍ය මූල්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද හදාරා තිබේ. තවදුරටත්, රාජ්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ සංවර්ධන ආර්ථිකය පිළිබඳ ආචාර්ය උපාධියක් හැදෑරීම සඳහා ද ඉහත සඳහන් ජපානයේ ප්‍රතිපත්ති අධ්‍යයනය සඳහා වන ජාතික උපාධි ආයතනය විසින් කුමානායක මහතා වෙත විශ්ව විද්‍යාල ශිෂ්‍යත්වයක් පිරිනමන ලදී. එහිදී, ඔහු විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ නිබන්ධනය රේගු දූෂණය පිළිබඳ ගැටළුව කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කොට තිබූ අතර ඔහු ඒ පිළිබඳ ලිපි කිහිපයක් ජාත්‍යන්තර සඟරා වල ද ප්‍රකාශයට පත් කර තිබේ. වර්තමානය වන විට ඔහු වරලත් රේගු නවීකරණ උපදේශකයෙකු ලෙස ද ලෝක රේගු සංවිධානය විසින් නිල වශයෙන් පිළිගනු ලැබ ඇති අතර, රේගු සුපිළිපන්නතාව පිළිබඳ විශේෂීකරණය කර තිබේ. රේගු සුපිළිපන්නතාවය වර්ධනය කිරීම අරමුණු කොට ගනිමින් ලෝක රේගු සංවිධානය විසින් විදේශ රටවල පවත්වනු ලබන වැඩසටහන් සඳහා එම සංවිධානයේ ජාත්‍යන්තර නියෝජිත කණ්ඩායම් කිහිපයක් සඳහා ද සහභාගී වී තිබේ.