රාජ්‍ය ආයතනවල මුල් පුටු වෙනුවෙන් නව පත්කිරීම් සඳහා සාධාරණ හේතු අවශ්‍යයයි.

• පූර්ව අනුමැතිය ගැනීමට ජනපතිගෙන් කමිටුවක්.

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදු කිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අග්‍රමාත්‍ය ලේකම් අනුර දිසානායක, අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු යන මහත්වරු කටයුතු කරති.
කමිටුවේ ලේකම්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතා පත් කර ඇත.
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීමට අවශ්‍ය නම් සාධාරණීකරණය කළ හැකි හේතු සහිතව නාම යෝජනා ඉහත කමිටුවට ඉදිරිපත් කර පූර්ව අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය කර තිබේ.
පූර්ව එකඟතාවකින් තොරව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීමට විටින් විට ජනාධිපතිතුමා වෙත කෙරෙන ලිඛිත ඉල්ලීම් සහ ඇතැම් අවිධිමත් පත්කිරීම් පිළිබඳ අවධානය යොමු කරමින් මෙම කමිටුව පත් කර තිබේ.
මේ පිළිබඳව ජනාධිපති ලේකම්ගේ අත්සනින් යුතුව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට සෘජුව ලිපියක් යොමු කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් හා මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට පිටපත් යොමු කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-16

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.