Published on: නොවැම්බර් 29, 2023

COP 28 සමුළුවට ජනපතිගෙන් විශේෂ යෝජනා 03ක් – විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා

  • COP 28 සමුළුවට ප්‍රථම වරට ශ්‍රී ලංකා වේදිකාවක්.
  • මෙවර සමුළුවට ජනපති සමඟ ඇමතිවරු තිදෙනෙක් සහ විපක්ෂ මන්ත්‍රීවරු දෙදෙනෙක්.
  • රජයේ වියදමින් තොරව තරුණ නියෝජිතයන් විසි දෙනෙකු, බලශක්ති සහ පරිසර ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් සහ මාධ්‍ය කණ්ඩායමක්.

අවදානමට ලක්විය හැකි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ “දේශගුණික යුක්ති සංසදය” ක්‍රියාත්මක කිරීම ඇතුළු යෝජනා තුනක් මෙවර එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට (COP 28) ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව (COP 28) රාජ්‍ය නායකයන්, රාජ්‍ය – පෞද්ගලික අංශ නියෝජිතයන්, පරිසරවේදීන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 30 වැනිදා සිට දෙසැම්බර් 12 වනදා දක්වා ඩුබායිහි එක්ස්පෝ නගරයේදී පැවැත්වෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

දේශගුණික විපර්යාස මෙන්ම ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන මෙම සමුළුව දේශගුණික සංවාද සඳහා ප්‍රමුඛ ජාත්‍යන්තර වේදිකාවක් ලෙස ක්‍රියාකරනු ඇති බව ද අලි සබ්‍රි මහතා සඳහන් කළේය.‍

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (29) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙවර සමුළුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් ඇමැතිවරු තිදෙනෙක් සහ විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරු දෙදෙනක් සහභාගී වන බවයි. එසේම රජයේ වියදමින් තොරව තරුණ නියෝජිතයන් විසි දෙනෙකු සහ බලශක්ති හා පරිසර ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් හා මාධ්‍ය කණ්ඩායමක් ඊට එක්වන බවද අමාත්‍යවරයා පැවසීය.

මාධ්‍ය හමුව අමතා තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අලි සබ්‍රි මහතා මෙසේද පැවසීය.

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු කිරීම මිත්‍යාවක් බව ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කරනවා. නමුත් එය මිත්‍යාවක් නෙමෙයි. පරිසර විනාශය දිගින් දිගටම සිදුවුවහොත් ලෝකයේ පැවැත්මට හානි සිදු වෙනවා. කාර්මික විප්ලවයට පෙර ඇති කරගත් සම්මුතියකට අනුව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව වාර්ෂිකව පැවැත්වෙනවා.

විශේෂයෙන්ම දේශගුණික විපර්යාසවලින් බලපෑමට ලක් වන්නේ ශ්‍රී ලංකාව ඇතුළු නිවර්තන කලාපීය රටවල් බව කිව යුතුයි. නිවර්තන කලාපයේ වැසි වනාන්තර පිහිටා තිබීම මෙන්ම විවිධ වූ ස්වභාවික විවිධත්වයන් පෝෂණය කරනවා. නිවර්තන කලාපයේ රටවල් 136 ක් තිබෙනවා. ලෝක ජනගහණයෙන් 40%ක් එම රටවල ජීවත් වෙනවා. පරිසර දූෂණය සිදුවන්නේ කාර්මික විප්ලවයත් සමඟයි. කාර්මික විප්ලවය සිදු කරන රටවල්වලට වඩා පරිසර දූෂණයේ බලපෑම ඇතිව තිබෙන්නේ කාර්මික විප්ලවය අවම වශයෙන් සිදුකරන රටවල් වලටයි.

එම නිසා මෙවර සමුළුවට ප්‍රතිපත්තිමය වශයෙන් වූ නව තීන්දු තීරණ කිහිපයක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා.

ශ්‍රී ලංකාව ඇතුළු ආපදාවන්ට මුහුණ දෙන රටවල් සියල්ල ඒකරාශී වී කණ්ඩායමක් වශයෙන් ක්‍රියාකිරීමටත්, පරිසර දූෂණය අවම කිරීම මෙන්ම පරිවර්තනයන් සිදුකිරීම සඳහා අවශ්‍ය ආයෝජනය ජාත්‍යන්තර ප්‍රජාව තුළින් ලබාදිය යුතු බවටත් වන මැදිහත් වීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකාව නායකත්වය ලබාදෙමින් ක්‍රියාත්මක කරන දේශගුණික යුක්ති සංසදය තුළින් දේශගුණික විපර්යාස අඩු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම, එකිනෙකා සතුව තිබෙන අදහස් හා යෝජනා හුවමාරු කිරීම මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව තුළින් අවශ්‍ය ආයෝජනයන් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා නිවර්තන තීරයේ රටවල් කිහිපයක් දැනටමත් එයට සහාය ලබාදීමට කැමැත්ත පළ කර තිබෙනවා.

එසේම ජනාධිපතිතුමාගේ උපදෙස් මත දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ සම්බන්ධ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකිරීමේ අවශ්‍යතාව මෙහිදී ජාත්‍යන්තර ප්‍රජාවට අප ඉදිරිපත් කරනවා. මෙවර සමුළුවට වැඩියෙන්ම යෝජනා ඉදිරිපත් කරන රට බවට ශ්‍රී ලංකාව පත්විය හැකියි. සමුළුවට ඉදිරිපත් කරන යෝජනා කට වචනයට පමණක් සීමා නොවී ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු බව අපගේ විශ්වාසයයි.

මෙහිදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,

පරිසරය සම්බන්ධයෙන් වූ න්‍යාය පත්‍ර දැන් වෙනස් වෙමින් තිබෙනවා. අද ලෝකයේ සෑම වේදිකාවකම පළමුව කතාබහට ලක් කරන්නේ ආර්ථිකය සහ ආරක්ෂාව සම්බන්ධවයි. නමුත් අද වන විට දෙවැනියට පරිසරය සම්බන්ධව සාකච්ඡා කිරීම දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. පරිසර හානියට ප්‍රධානතම හේතුව පරිසරය සම්බන්ධව නිසි අවධානයක් යොමු නොකිරීම. මිනිසා විසින්ම සිදුකරන පරිසර හානිය ගණන් බැලිය නොහැකියි. කාර්මික විප්ලවයේදී පරිසරය සම්බන්ධව නිසි අවධානයක් යොමු නොකිරීමේ ප්‍රතිඵල අද අප භුක්ති විඳිමින් සිටිනවා.

2015 වසරේ ඇති කරගත් සම්මුතිවලට අදාළ එකඟතා මහපොළොවේ යථාර්තයක් බවට පත්වී නැහැ. ඒ නිසා නිවර්තන කලාපීය රටවල්වලට දැඩි පීඩනයක් ඇතිව තිබෙනවා. දියුණු රටවල්වල ක්‍රියාකාරකම් නිසා නිවර්තන කලාපීය රටවල්වලට විශාල අලාභයක් සිදුව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සම්මේලනවලට වඩා ඉහළට ගිය වටිනාකමක් මෙවර සමුළුවට ලබාදී තිබෙනවා. පරිසර හානියට එරෙහිව ශක්තිමත් පසුබිමක් සකස් කිරීමේ අවශ්‍යතාව අද මතුවී තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා,

මේ රටේ බලශක්තිය ක්‍රියාත්මක කිරීමේදී මූල්‍ය සහාය ලබා ගැනීම පහසු නැහැ. එනිසා විශේෂයෙන්ම අන්තර්ජාතික ආයතනවල තාක්ෂණික සහ මූල්‍ය සහාය ලබා ගැනීම අවශ්‍යයි. දෙස් විදෙස් ආයතන, විද්වතුන් එකට හමුවී තීන්දු තීරණ ගැනීම සඳහා අවස්ථාව උදා වෙනවා. එමෙන්ම පුනර්ජනනීය බලශක්තිය තුළින් අපේ රටට විදුලිය උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ද මෙම සමුළුව ඉතා වැදගත් බව කිව යුතුයි.

පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා පසුගිය වසරේදීත් අප අපේ සැලසුම් සමුළුවට ඉදිරිපත් කළා. පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය කිරීම තුළින් මේ රටේ අවශ්‍යතාවයට මෙන්ම අනිකුත් කලාපීය රටවල අවශ්‍යතාවයන්ට ද ලබාදිය හැකි විදුලි විභවයන් පවතින බව ලෝක බැංකුව මෙන්ම සංවර්ධන නියෝජිත ආයතන විසින් සිදුකළ සමීක්ෂණ වාර්තා මගින් පෙන්වා දී තිබෙනවා.

මීට සති දෙකකට පෙර ජනාධිපතිතුමා විසින් හරිත හයිඩ්‍රජන් මාර්ග සිතියම එළිදක්වනු ලැබුවා. එනිසා මේ මාර්ග සිතියම තුළින් අප බලාපොරොත්තු වෙන්නේ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමන් අක්වෙරළ පුනර්ජනනීය විභවයන් භාවිතා කිරීමයි. මේ විභවයන් භාවිතා කිරීම තුළින් අපට අවශ්‍ය විදුලිය ලබා ගැනීමට මෙන්ම ප්‍රවාහන කේෂ්ත්‍රයට අවශ්‍ය හයිඩ්‍රජන් ලබා ගැනීමටත් හැකියාව පවතිනවා. අපේ රටේ හරිත මාර්ග සිතියම ක්‍රියාත්මක කිරීම අවශ්‍ය සහාය සමුළුව තුළින් බලාපොරොත්තු වෙනවා.

පසුගිය කාලයේ පැවති සමුළුවලදී අපේ රටට ආවේණික වේදිකාවක් තිබුණේ නැහැ. නමුත් මෙවර සමුළුවේදී ශ්‍රී ලංකාවේ වේදිකාවක් ස්ථාපිත කර තිබීම විශේෂත්වයක් වෙනවා. මෙම සමුළුව දෙස කවුරුත් අසුබවාදීව බැලිය යුතු නැහැ. දේශගුණික විපර්යාස හේතූන් නිසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් නිසියාකාරව අනාවැකි ලබාදීමට අපොහොසත් වුණා. අපට තවදුරටත් ඉදිරියේදී ජල විදුලිය මත යැපෙන්න බැහැ. සූර්ය සහ සුළං උපයෝගී කරගෙන විදුලිය ලබා ගැනීමට නම් අපට ලෝකයේ තාක්ෂණික සහාය ලබා ගැනීමට අවශ්‍යයි.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා,

මේ සමුළුව ලෝකයේ අනිකුත් සමුළුවලට වඩා ප්‍රධානතම සමුළුවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ලෝක බලවත් රටවල රාජ්‍ය නායකයන්, ලෝකයේ ප්‍රධාන පෙළේ සමාගම්, ආගමික නායකයන් මේ සඳහා සහභාගි වෙනවා. දේශගුණික විපර්යාස පිළිබඳව මුහුණ දෙන අලාභහානි ගැන සාකච්ඡා කිරීමට, අවශ්‍ය විසඳුම් සෙවීමට මෙය හොඳ වේදිකාවක් බව කිව යුතුයි.

දේශගුණික විපර්යාස නිසා අපේ රටට වාර්ෂිකව ඩොලර් විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා. ලෝක බැංකු විශේෂඥයන්ට අනුව 2050 වසර වන විට අප රටේ දළ දේශීය ආදායමෙන් 1.2%ක පාඩුවක් ලැබෙන්නට තිබෙන බව ප්‍රකාශ කර තිබෙනවා. එම නිසා සිදුවන අලාභයන් අවම කර ගැනීමට මෙම සමුළුව අවස්ථාවක් කර ගන්න පුළුවන්.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න මහතා,

මිනිසා විසින් පරිසරයට සිදුකරන විනාශය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතුව තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මෙවර සමුළුවට තරුණ නියෝජිතයන් පිරිසක් ද සහභාගි වෙනවා. ඔවුන් මේ රටේ දේශගුණික විපර්යාස සම්බන්ධව ඉතා සක්‍රීයව දායකත්වය ලබාදෙන කණ්ඩායමක්. ඒ වගේම ජාතික තරුණ සේවා සභාව මූලික කරගෙන, යුනිසෙෆ් සංවිධානය, බ්‍රිටිෂ් කවුන්සිලය ඇතුළු ආයතන කේන්ද්‍ර කරගෙන දේශගුණික විපර්යාස පිළිබඳව මේ රටේ තරුණ පරපුර දැනුම්වත් කිරීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

මෙම සංචාරය වෙනුවෙන් රාජ්‍ය මුදල් ඔවුන් භාවිත කරන්නේ නැහැ. මේ තරුණයන් ඇත්ත වශයෙන්ම දේශගුණික විපර්යාස තුළින් ශ්‍රී ලංකාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සෙවීමට නිරතුරුවම කැපවන කණ්ඩායමක්. දේශගුණික විපර්යාසවලට මුහුණ දෙන රටවල් අතරින් ශ්‍රී ලංකාව ලෝකයේ 30 වැනි ස්ථානයට පත්ව සිටිනවා. ඉදිරි අවධානම නොදැන අනාගත තරුණ පරපුර දේශගුණික අනාථයන් බවට පත්වීම වැළැක්වීම සියලු දෙනාගේ වගකීමක් වෙනවා.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.