මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වසර තිස් හතරකට පසුව පවත්වන ජනරජ පෙරහර පෙබරවාරි 19 වනදා මහනුවර නගරයේ දී වීථි සංචාරය කිරීමට නියමිතය.
75 වන නිදහස් සැමරුමට සමගාමීව මෙය සංවිධානය කර තිබෙන අතර එහි සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
පෙබරවාරි 19 දා ප.ව 6.30ට මහනුවර මඟුල් මඩුව භූමියෙන් ආරම්භ වන පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්ද වීදිය ඔස්සේ පැමිණ රජ වීදියට පිවිස, නැවත මාළිගාවට ගෙවදීමෙන් පෙරහරේ කටයුතු අවසන් වන බව ශ්‍රී දළදා මාළිගාවේ සම්බන්ධීකරණ හා සංස්කෘතික නිලධාරි ජයම්පති වැද්දාගල මහතා පැවසීය.
වාර්ෂික ඇසළ පෙරහර මෙන්ම අලි ඇතුන් සහ නර්තන කණ්ඩායම් ඇතුළු සියලු පෙරහර සංස්කෘතිකාංගවලින් මෙම ජනරජ පෙරහර විචිත්‍රවත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ද ජයම්පති වැද්දාගල මහතා වැඩිදුරටත් පැවසීය.
නමුත් මෙම පෙරහරේ දී දන්ත ධාතූන් වහන්සේ වැඩම වීමක් සිදු නොකරන අතර, ඒ වෙනුවට ජනරජ ලාංඡනය ප්‍රදර්ශනය කරමින් වීථි සංචාරය කිරීම පමණක් සිදු කෙරේ.
සංචාරක ක්ෂේත්රයේ ප්‍රවර්ධනය ද අරමුණු කර ගනිමින් මෙය සංවිධානය කෙරෙන අතර පෙරහර නැරඹීම සඳහා පැමිණෙන ජනතාවට නුවර පෙරහර මාර්ගයේ ඉඩ පහසුකම් සලසා ඇත.
රටේ ඉතාමත් සුවිශේෂි වැදගත් අවස්ථාවලදී පමණක් රජයේ ඉල්ලීම පරිදි ශ්‍රී දළදා මාළිගාව මගින් මෙවැනි විශේෂ පෙරහර සංවිධානය කෙරේ.
මෙම ආකාරයට සංවිධානය කළ පළමු පෙරහර 1875 දී පවත්වා ඇති අතර, ඒ වික්ටෝරියා රැජිණගේ පුත් වේල්ස්හී ආදිපාදවරයා ලංකාවට පැමිණීම මුල් කර ගනිමිනි.
1954 දී ලංකාවේ රාජ්‍ය නායිකාව වූ දෙවන එලිසබෙත් රැජිණ ලංකාවට පැමිණීමෙන් පසුව රජ පෙරහර පවත්වා ඇති අතර රැජිණ පත්තිරිප්පුවෙහි සිට එය නැරඹූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.
1981 වසරේදී ද මෙවැනි පෙරහරක් පැවැත්විණි. එය නැරඹීම සඳහා ද දෙවන එලිසබෙත් රැජිණ පැමිණ ඇති අතර මහ මළුවේ තැනූ විශේෂ පීඨිකාවක සිට පෙරහර නරඹා තිබේ.
1987 වසරේ එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ද ජනරජ පෙරහරක් පවත්වා ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.