Published on: ඔක්තෝබර් 24, 2022

2048 දී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් කරා ගෙන යන ගමනට තරුණ පරපුර උපරිමයෙන් දායක කර ගන්නවා – ජනපති

ශ්‍රී ලංකාව 2048 වන විට සංවර්ධිත රටක් බවට පත් කිරීම තම අරමුණ බවත්, ඒ සඳහා දායකවීමට මේ රටේ තරුණ තරුණියන්ට ද අවස්ථාව සලසා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “2048 සංවර්ධිත රාජ්‍යයක් කරා යන ගමනේ තරුණ වේදිකාව” වැඩසටහනේ තරුණ, තරුණියන් සමග 22 දා සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේ දී ය.

රටේ සමාජ, ආර්ථික, දේශපාලන කරුණු මෙන්ම වත්මන් තරුණ පරපුර මුහුණ දී ඇති ගැටලු පිළිබඳව ද ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට මෙහිදී අවස්ථාව සලසා දි තිබිණි.

ඒ අනුව තරුණ තරුණියන් නැඟු ප්‍රශ්න සහ ඒවාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් පිළිතුර පහත දැක් වේ.
ප්‍රශ්නය
ජනාධිපතිතුමනි, ඔබතුමා නිතරම ප්‍රකාශ කරනවා මේ රට ඉදිරියට ගෙන යන්න නම් රටේ තරුණයන්ට අවස්ථාව ලබා දිය යුතුයි කියා. එදා 1977 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඔබතුමන්ට තරුණ නායකයෙකු ලෙස රටේ සංවර්ධනයට දායකවෙමින් ඉදිරියට එන්න අවස්ථාව සලසා දුන්නා. 2048 වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීම ඔබතුමාගේ බලාපොරොත්තුව වී තිබෙනවා. ඒ සඳහා තරුණ නියමුවන් තැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවාද,

පිළිතුර
අපි පළමුවෙන්ම කටයුතු කරන්නේ අපේ රට ඉදිරියට ගෙන යා හැකි තත්ත්වයක් ඇති කිරීමට. මම රට භාරගන්නා අවස්ථාව වන විට රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳ වැටිලයි තිබුණේ, මේ තත්ත්වයෙන් ගොඩ ඒමට නොහැකි වුණොත් අපිට අනාගතයක් නැහැ.

එදා රටේ තිබුණු උද්ඝෝෂන මැද මම මේ ආණ්ඩුව භාර අරගෙන පළමුවෙන්ම කටයුතු සැලසුම් කළේ බංකොළොත් ආර්ථිකය වෙනුවට දියුණු ආර්ථිකයක් ලබා ගැනීමට. ඒ සඳහා රටේ තරුණ තරුණියන්ට සහභාගීවීමට අවස්ථාව තිබෙනවා.

ඒ සඳහා මම යෝජනා කර තිබෙන එක පියවරක් තමයි හැම පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවකම තරුණයෝ පස් දෙනෙක් පත් කරන්න. තවම එම අධීක්ෂණ කමිටුවල මන්ත්‍රීවරු, සභාපතිවරු තෝරාගැනීම අවසන් වී නැහැ.

ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා යොවුන් පාර්ලිමේන්තුව නීතිගත කරන්න. යෝජිත ජන සභා මාර්ගයෙන් නව තරුණයන්ට ඉදිරියට පැමිණීමට අවස්ථාව තිබෙනවා. ඒ වගේම අරගලයට සම්බන්ධ වෙලා ප්‍රචණ්ඩත්වයට නොගිය කණ්ඩායම්වලට අපි ආරාධනා කර තිබෙනවා මේ සඳහා සහභාගී වෙන්න කියා. මෙම පියවර මගින් අපට අවශ්‍ය අලුත් නායකත්වය බිහි වෙයි කියා මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මාර්ගය සකස් කරදීම දැන් අපි සිදුකරමින් සිටින බව සිහිපත් කරන්න කැමතියි.

ප්‍රශ්නය
2048 අපේ රට සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීමට බෙහෙවින් උපකාරි වන සාධකයක් වන්නේ තරුණයන් ව්‍යවසායකත්වය සඳහා යොමු කිරීමයි. තරුණයන් ව්‍යවසායකයන් වශයෙන් ඉදිරියට ගෙන ඒමට ඔබතුමා තුළ ඇති දැක්ම කුමක්ද කියා මම දැන ගන්න කැමැතියි.

පිළිතුර
ව්‍යවසායකයින් බිහිවීමට පටන් ගත්තේ 1977 විවෘත ආර්ථිකය ආරම්භ වීමෙන් පසුව. බ්‍රිතාන්‍ය යුගයේ දී මේවා ආරම්භ කරද්දි 19 වන සහ 20 වන ශතවර්ෂයේ මුල් භාගයේදී ව්‍යවසායකයින් බිහි වුණා. නමුත් 1960න් පසුව රජයේ ආර්ථික පාලනය ඉහළ යාමත් සමග ව්‍යවසායකයන් පිරිස අඩු වුණා. 1977 දී අපි ආසියාවේ ඉතා තරඟකාරී ආර්ථික පසුබිමක සිටියා. අද අපිට තරඟකාරී ආර්ථිකයක් නැහැ. 1977 සිට අද වන තුරු එම වැඩසටහන සමග අපි එකතු වුණේ නැහැ. එහි එක් උදාහරණයක් තමයි ත්‍රිකුණාමලය තෙල් ටැංකි, වසර 15ක් 20ක් තිස්සේ එහි කටයුතු ඉදිරියට ගෙන යන්නේ නැතිව එම වැඩසටහන නතර කරලා තිබෙනවා. අද LIOC එක නොතිබුණා නම් මෙම සහනයවත් අපිට ලැබෙන්නේ නැහැ.

රටේ ව්‍යාපාර ගණනාවක් අද බංකොළොත් වී තිබෙනවා. අපේ බැංකු පද්ධතිය ආරක්ෂා කරගෙන තිබන්නේ ඉතා අසිරුවෙන්. අප පළමුව සිදු කළ යුත්තේ අපේ බැංකු පද්ධතිය ශක්තිමත් කර ගැනීම. ඒ වගේම අපේ ආර්ථිකය තරඟකාරි ආර්ථිකයක් බවට පත්කර ගත යුතුයි. අපනයන ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. මේ බංකොළොත් ව්‍යාපාර භාරගෙන නගා සිටුවීමට තරුණ ව්‍යවසායකයින්ට හැකියාව තිබෙනවා.

තරුණ ව්‍යවසායකයින්ට බැංකු ණය ලබා දෙන්නේ කොහොමද කියලා අපි බැලිය යුතුයි. මෙවන් අවස්ථාවක ඉදිරියට යන්න නම් බැංකු ශක්තිමත් විය යුතුයි.

විදේශ ආයෝජන ලබා ගැනීමේ අපේ නීති රීති තවදුරටත් ලිහිල් කරනව නම් මෙරටට ලැබෙන ආයෝජන අවස්ථා තවදුරටත් පුළුල් වෙනවා.

ඇගලුම් කර්මාන්තයට අවශ්‍ය සෑම එකක්ම පිටින් ලබා ගත්තා, අපිට ලැබුණ වාසිය ශ්‍රමය පමණයි. අද මේ දේවල් අපිට මෙරට නිෂ්පාදනය කරන්න හැකි වෙලා තිබෙනවා. අපි ඒවා පිටරට යවනවා. එලෙස තමයි මේ අගය වැඩිකිරීම ක්‍රමානුකූලව කරන්න තිබෙන්නේ. මේ ක්‍රියාදාමයේදී තමයි තරුණ තරුණියන් අවස්ථා ලබා ගත යුත්තේ.

ප්‍රශ්නය
මේ රටේ සංවර්ධනයට තරුණ පරම්පරාව දායක කර ගැනීමේ විශේෂ ප්‍රායෝගික සැලැස්මක් තිබෙනවද, අපි කැමතියි එය දැන ගන්න.

පිළිතුර
රටේ සංවර්ධනයට තරුණ පරපුරට ආරාධනා කරන තුරු ඇයි බලා සිටින්නේ. ඒ සඳහා ඕනෑතරම් අවස්ථා තිබෙනවා, ඔවුන්ට තිබෙන්නේ ආරාධනා කරන තුරු බලා නොසිට ඒ අවස්ථා ලබාගෙන රටේ සංවර්ධනයට දායකත්වය ලබාදීමයි.

ප්‍රශ්නය
අද ඔබතුමා මුහුණ දී තිබෙන ප්‍රශ්නවලට එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමත් මුහුණ දුන්නා. ඔබතුමා එදා එතුමාගෙන් ලැබු ආභාෂය සමග ලංකාවේ ඉදිරි ගමන ගැන කොහොමද හිතන්නේ, එතුමාගේම අඩිපාරේ යමින් එම විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් ඉදිරියට ගෙන යනවද,

පිළිතුර
අභියෝගවලට මුහුණදිය යුතුයි. කිසිවෙකුට අභියෝගවලින් පැන යා නොහැකියි. මේ ශතවර්ෂයේ අපේ රටට තිබෙන විශාලම අභියෝගය වන්නේ, කෙසේද යුද්ධයෙන් පසු නවීකරණය සමග අප ඉදිරියට යා යුත්තේ යන්නයි. එදා අපි ඒකට සූදානම් වුණේ නැහැ. යුද්ධයෙන් පසුවත් අපි හිටියේ පරණ සිතුම් පැතුම් සමගමයි. ඒ ලෝකය දැන් සම්පුර්ණයෙන්ම කඩා වැටී තිබෙන්නේ. මොකද ණය බර සමග ඉදිරියට යා නොහැකියි.

අපි මේ ගැන අවබෝධයෙන් කටයුතු කළයුතුයි. අපි සිටියේ සිහින ලෝකයක. ඒ සිහින ලෝකයෙන් පිටතට පැමිණිය යුතුයි. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 1977 බලයට පත්වී විවෘත ආර්ථිකය ආරම්භ කළා.
චීනය, ඉන්දියාව, වියට්නාමය යන රටවල අපිට වඩා පාලන ආර්ථිකයක් තිබුණා. එදා චීනය ඉන්දියාවටත් වඩා දුප්පත්. චීනය විවෘත ආර්ථිකය සමග ඉදිරියට ගියා. ඉන්දියාවත් දැන් ඒ සංවර්ධනය කරා ළගාවෙමින් සිටිනවා. වියට්නාමය යුද්ධයෙන් පසුව විනාශ වී ගිය රටක්. ඒත් ඒ අය අද දියුණු වෙලා තිබෙනවා.

2009 අපේ රටේ යුද්ධය අවසන් වුණා. අපි 2019 වසරේ ආණ්ඩුව කරනකොටත් මේ නවීකරණයට ජනතාව සූදානම් නැහැ. 2019 ලබාදුන් බදු ප්‍රතිපත්ති නිසා රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටී තිබෙනවා. දැන් එහි අයහපත් බලපෑම් භුක්ති විඳින්නේ මේ රටේ තරුණ පරපුර. සමහර තරුණ තරුණියන් අපට අනාගතයක් නැහැ කියලා රට අතහැර යනවා. තවත් පිරිසක් අනාගතය ගොඩනගා ගැනීමේ අපේක්ෂාවෙන් රැදී සිටිනවා. ඒ අභියෝගය අපි භාරගත යුතුයි. ඒක තමයි ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් වගේම අනිත් නායකයන්ගෙනුත් ඉගෙන ගැනිමට තිබෙන්නේ.

ප්‍රශ්නය
ජනාධිපතිතුමනි, ආහාර සුරක්ෂතාතාවය පිළිබඳ රජය ගෙන යන වැඩපිළිවෙළ සහ ඉදිරි වර්ෂය සඳහා කෘෂිකර්ම ප්‍රතිපත්තිය කුමක්ද කියා අපි දැනගන්න කැමතියි.

පිළිතුර
ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අපි දැනටමත් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර ලබාදීමේ වැඩසටහන ද ක්‍රියාත්මකයි. පොහොර ලබා ගැනිම සදහා අවශ්‍ය ඩොලර් දැන් අපිට ලැබී තිබෙනවා. ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ අනෙක් රටවලින් එම මුදල් ලැබී තිබෙන නිසා අපිට දැන් පොහොර මිලදී ගැනීම සිදු කළ හැකියි.

මෙවර මහ කන්නයට අවශ්‍ය පොහොර දැනට රටේ තිබෙනවා. ඒවා බෙදාහැරීම ඉදිරියේ දී සිදු කෙරෙනවා. එහි අඩු පාඩුකම් තිබෙනවා නම් ඒ ප්‍රදේශ ගැන සොයා බලන්න කියා මම උපදෙස් දී තිබෙනවා.

කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට ද අපි පියවර ගෙන තිබෙනවා. එමෙන්ම නොවැම්බර් 15 න් පසු දෙවන වටය සදහා අවශ්‍ය පොහොර ප්‍රමාණයත් රටට ලැබෙයි කියා බලාපොරොත්තු වෙනවා.

ලබන වසරේ පළමු මාස තුන හතර තුළ සම්පූර්ණයෙන්ම ආහාර නිෂ්පාදනය ආරම්භ කිරීම අපේ සැලැස්මයි. වී නිෂ්පාදනය පිළිබඳ දැනට ගැටලුවක් නැහැ. නමුත් බඩඉරිඟු වගාව පුළුල් කළයුතුව තිබෙනවා.

ප්‍රශ්නය
මහ කන්නයේ ඇතිවිය හැකි ගැටලු සාකච්ඡා කරමින් අවශ්‍ය සහාය ලබා ගැනීම සඳහා කෘෂිකර්ම ප්‍රවර්ධන දෙසතියක් නම් කිරිමට හා කෘෂිකර්මය සඳහා තාරුණ්‍ය ආකර්ශනය කර ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළයුතු බව අපි යෝජනා කරන්න කැමතියි.

පිළිතුර
අපේ කෘෂිකර්මාන්තය නවීකරණය කළයුතුව තිබෙනවා. ගොවිජන සේවා මධ්‍යස්ථාන තිබෙනවා, නිලධාරින් බොහෝ දෙනෙක් ග්‍රාමීය මට්ටමින් කටයුතු කරනවා, ඔවුන් සැලැස්මක් අනුව යෙදවීමට පියවර ගෙන නැහැ. මෙලෙස කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේදි විශාල වැඩකොටසක් ක්‍රියාවට නැංවිය යුතුව තිබෙනවා.

ප්‍රශ්නය
රටේ බුද්ධිගලනය මේ වන විට ඉතා දරුණු තත්ත්වයකට පත්ව තිබෙනවා. රටට විදේශ විනමය ලැබුණත් මානව සම්පත් රටට අහිමිවීම ‍ගැටලුවක්. මෙම බුද්ධිගලනය අවම කර ගැනීමට ඔබතුමා ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද යන්න අපි දැන ගන්න කැමතියි.

පිළිතුර
පසුගිය වසරේදී බුද්ධිගලනය වැඩි වශයෙන් ආරම්භ වුණා. ආර්ථික ගැටලු සමග මේ වසරේ එය සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. අනාගත අවිනිශ්චිතතාව පිළිබඳ ගැටලුව ඊට හේතුවී තිබෙනවා. ඒ ගැන කරුණ දෙකක් සඳහන් කිරීමට මම කැමතියි. මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබා හොඳ රැකියාවකට ගිය පසු රට අතහැර දැමීම සුදුසු ද යන්න පළමු කාරණයයි. රටේ මේ තත්වය ලබන වසරේ මැද භාගය පමණ වන තෙක් පවතිවි. රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 8.5%කට අඩු වෙලා තිබෙනවා. අපි මෙය 14%ක් දක්වා ඉහළ නංවාගත යුතුයි. අතීතයේ බදු අය නොකිරීම තමයි ගැටලුව වී තිබෙන්නේ. දැන් මෙම නව බදු ක්‍රම සමග අප ඉදිරියට යා යුතුයි.

ප්‍රශ්නය
විදේශ ණය වෙනුවට විදේශ ආයෝජන සදහා අවධානය යොමු කරන බව ඔබතුමා ප්‍රකාශ කර තිබෙනවා, විදේශ ආයෝජන පිළිබඳ ඔබතුමා දැනට සිටින ස්ථාවරය කුමක්ද, ඒ සඳහා තරුණයන්ගේ දායකත්වය ලබා ගැනීමට තිබෙන යෝජනා මොනවද කියා අප දැනගන්න කැමතියි.

පිළිතුර
අද සියලු රටවල් දියුණුවී තිබෙන්නේ විදේශ ආයෝජන ලබාගෙනයි. ණය ලබා ගැනීම තුළින් නොවෙයි. චීනය දියුණු වුණේ විදේශ ආයෝජන නිසා. විදේශ ආයෝජන ලබා ගැනීමට ඉන්දියාව ප්‍රමාද වූ නිසා චීනය ඉන්දියාවට වඩා ඉදිරියට ගියා. වියට්නාමයත් විදේශ ආයෝජන සමග ඉදිරියට ගිය රටක්. විදේශ ආයෝජන නොමැතිව රටකට ඉදිරියට යන්න බැහැ.
විදේශ ආයෝජන නිසා නව ව්‍යාපාර අවස්ථා ඇති වෙනවා. නිෂ්පාදන ඉහළ යනවා. ඒ සමග තමයි අපිට ඉදිරියට යාමට හැකි වන්නේ.

යුද්ධයෙන් පස්සේ විදේශ ණය අරගෙන රට දියුණු කිරිමටයි අපි උත්සාහ කළේ. නමුත් එය කරගත නොහැකි වුණා. 2015දී ඊට විසඳුමක් සෙවීමට මට අවස්ථාව ලැබුණත් එය ඉදිරියට ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා තමයි අද අපිට මේ තත්ත්වයට මුහුණ දීමට සිදුව තිබෙන්නේ.

විදේශ ආයෝජන සඳහා අවශ්‍ය පරිසරය අප සකස් කළ යුතුයි. ඒ සඳහායි අපි කටයුතු කරමින් සිටින්නේ. අපි සීමා පනවනවා නම්, තීරණ ලබා දීමට වසර දෙක තුනක් ගත කරනවා නම් අපේ රටට ආයෝජන ලැබෙන්නේ නැහැ. ඒ නිසා රට ඉදිරියට ගෙන යාම සඳහා අපි මෙම යාන්ත්‍රණය ඉදිරි මාස කිහිපය තුළ කණපිට හැරවිය යුතුයි.

ප්‍රශ්නය
ජනාධිපතිතුමනි, බොර තෙල් ගැටලුව සමග මේ වන විට අපි රුසියාව පැත්තට යොමු වෙලා තිබෙනවා, අපිට බොරතෙල් දීර්ඝ කාලීනව ලබා ගැනීම පිළිබඳව ඔවුන් සමග සාකච්ඡා කරමින් සිටිනවා. ණය යෝජනා ක්‍රමයක් සම්බන්ධවත් සාකච්ඡා කෙරෙනවා. ඒ පිළිබඳ ඔබතුමාගේ ස්ථාවරය කුමක්ද,

පිළිතුර
වැඩියෙන්ම බොර තෙල් ලබා ගන්නේ මැද පෙරදිග රටවලින්. එය වෙනස් නොවන දෙයක්. නමුත් අද මතුව තිබෙන අර්බුදය සමග රුසියාවත් යෝජනා කර තිබෙනවා ණය පහසුකම් ලබා ගැනීම පිළිබඳ. ඒ පිළිබඳ ගැටලු කිහිපයක් මතුව තිබෙනවා. රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධව යම් සීමා දාලා තිබෙනවා. එම කටයුතු නවත්වා නැහැ.

ප්‍රශ්නය
ජනාධිපතිතුමනි, ඉදිරි දිනවලදී යුරෝපා රටවල ශීත සෘතුව එළැඹෙනවා. පෙර සඳහන් කළ පරිදි ඔවුන්ටත් බොර තෙල් ගැටලුවක් උද්ගතවී තිබෙනවා. මේ තත්ත්වය සමග යුරෝපා රටවල සිටින පිරිස් පෙරදිග රටවල සංචාරය කිරීමට අපේක්ෂාවෙන් සිටිනවා. මෙම පිරිස ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාව යම් සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් යෝජනා කර තිබෙනවද කියා දැන ගන්න කැමැතියි.

පිළිතුර
සංචාරක ප්‍රවර්ධනය සඳහා අපි මේ වසරේ වැඩසටහනක් සැලසුම් කර තිබෙනවා. එහි ප්‍රතිඵල ලබාගත හැකි වන්නේ ලබන වසර වන විටයි. කුමන රටවලට ද ගමන් කරන්නේ කියා යුරෝපය දැනටමත් තීරණය කර අවසන්. ලබන වසර වන විට අපට මේ ඉලක්ක සපුරාගත හැකි වෙයි කියා මම බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය
ජනාධිපතිතුමනි, අරගලය තුළ විවිධ තරුණ කණ්ඩායම් සිටියා. සැඟවුන අරමුණු තිබූ කණ්ඩායම් සිටියා. රටේ ඉදිරි ගමන වෙනුවෙන් හදවතින්ම කැපවූ තරුණ පිරිසක් සිටියා. එම තරුණ පිරිසට ආරාධනා කිරීමට මෙය අවස්ථාවක් කර ගැනීමට ඔබතුමා කැමති නැද්ද,

පිළිතුර
එම ආරාධනය මම මීට පෙරත් සිදු කර තිබෙනවා. අපි ඕනෑම අවස්ථාවක එම කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට සූදානම්. ඒ වගේම අරගලය නිසා නොමග ගිය තරුණ පිරිස් සිටි නම් ඒ අය සමගත් සාකච්ඡා පැවැත්වීමට අපි සූදානම් බව කියන්න කැමතියි.

අරගලයට සම්බන්ධ වූ හොඳ පිරිසත්, අරගලය නිසා නොමග ගිය පිරිසත් සමග සාකච්ඡා කිරීමට අපි කැමැතියි. අරගලය මුවාවෙන් ප්‍රචණ්ඩකාරි ක්‍රියා සිදු කර තම දේශපාලන බලය ලබා ගැනීමට උත්සාහ කළ කණ්ඩායම්වලට අවශ්‍ය නම් අවස්ථාව තිබෙනවා පාපොච්චාරණයක් සිදු කර අප සමග එක්වීමට. අප එය නවතා නොදැමිය යුතුයි. රටට කළේ හානියක් කියලා ඔවුන් අවබෝධකරගත යුතුයි.

රටේ ආර්ථිකය අසීරුවන විට විවිධ පියවර ගැනීම ඕනෑම රටක සිදුවන දෙයක්. එහෙත් ඊට මුවාවී ප්‍රචණ්ඩත්වය සිදු කරනවා නම් ඒ පිළිබඳ අපි අවධානය යොමු කළයුතුයි. ප්‍රචණ්ඩත්වයට යොමු වෙලා තමන් කළේ වැරදි කාර්යයක් කියලා අබෝධකරගත් පිරිසක් සිටිනම් ඒ අය සමගත් සාකච්ඡා කරන්න අපි කටයුතු කරනවා.

ප්‍රශ්නය
ජනාධිපතිතුමනි ඔබට ළගදි චිත්‍රපටියක් නැරඹීමට හෝ පොතක් කියවීමට අවස්ථාව ලැබුණද,

පිළිතුර
මගේ පොත් ටික ගිනි තැබුව නිසා පොත් කියවන්න බැහැනේ, ජූනි 09 වනදා සිට මම බලන්නේ රට වෙනුවෙන් වු චිත්‍රපටියක්, කොටස් ගණනාවක් තිබෙනවා. එහි පළමු කොටසවත් තවම අවසන් වී නැහැ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.