Published on: පෙබරවාරි 27, 2025

සුපිළිපන්න දේශයක් ගොඩනැඟීම උදෙසා ජනාධිපති කාර්යාලය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව රජයේ නිලධාරීන්ට වැඩමුළුවක්

සුපිළිපන්න දේශයක් ගොඩනැඟීම උදෙසා ජනාධිපති කාර්යාලය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව සංවිධානය කළ අභ්‍යන්තර කටයුතු ඒකක (IAU) සහ දූෂණ විරෝධී මුලපිරීම් (AIA) තක්සේරුව පිළිබඳ වැඩමුළුව කොළඹ මැන්ඩරිනා හෝටලයේදී අද (27) පැවැත්විණ.

මෙරට දේශපාලන ක්‍රමය මෙන්ම සහ රාජ්‍ය සේවයද වෙනස් විය යුතු බව ජනතාව තීරණය කළ බවත් ඒ අනුව දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා විකල්ප බලවේගයක් පත් කර ගැනීමට ඔවුන් කටයුතු කළ බවත් ‘දූෂණයට එරෙහිව පුරවැසියන් සවිබල ගැන්වීම’ යන මැයෙන් මෙම වැඩමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේය.

ජනතා අභිලාෂ ඉටු කිරීම ජනතා රජයේ වගකීම බැවින් ඒ සඳහා වන ප්‍රායෝගික ක්‍රියාවලියකට ප්‍රවිෂ්ට වීමේ අවශ්‍යතාව මෙම වැඩමුළුවෙන් අවධාරණය කෙරෙන බවත් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව සුපිළිපන්න රාජ්‍ය සේවයක් වෙනුවෙන් පෙළගැසෙන ලෙස ජනාධිපති ලේකම්වරයා සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම වැඩමුළුව සඳහා මහජනතාව සමඟ සෘජුවම කටයුතු කරන ආයතන වීමේ පදනමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25, පළාත් ලේකම් කාර්යාල 09, අමාත්‍යාංශ 24 ක් හා දෙපාර්තමේන්තු 43ක් නියෝජනය කරමින් නිලධාරීහු සහභාගි වූහ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. එස්. ඒ. දිසානායක, ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ යන මහත්ම මහත්මීන්ද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහ ජනාධිපති කාර්යාලයේ නිලධාරීහුද මෙම වැඩමුළුවට සහභාගී වූහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.