Published on: අගෝස්තු 9, 2022

සීෂෙල්ස්, ඩෙන්මාර්කය, සිම්බාබ්වේ, සර්බියාව සහ ඉතියෝපියා රාජ්‍ය නායකයින්ගෙන් ජනපතිට සුබ පැතුම්.

සීෂෙල්ස්, ඩෙන්මාර්ක්, සිම්බාබ්වේ, සර්බියාව සහ ඉතියෝපියාවේ රාජ්‍ය නායකයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබපැතුම් පිරිනමා තිබේ.
වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සීෂෙල්ස් ජනාධිපති වේවල් රාම්කලවන් මහතා (Wavel Ramkalawan) සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ සියලු අභියෝග ජයගෙන ආර්ථික ස්ථාවරත්වය සහ සංවර්ධනය උදා කර ගනු ඇති බවයි.
ඩෙන්මාර්ක් අග්‍රාමාත්‍ය මෙට් ෆෙඩ්රික්සන් මහතා (Mette Frederiksen) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් පළ කරමින්, දෙරට අතර සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බව සඳහන් කර තිබේ.
වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීම එතුමාගේ නායකත්ව කුසලතා පිළිබඳ විශ්වාසයට සාක්ෂියක් බවත්, දෙරට අතර ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සබඳතා කෙරෙහි ඉතා සමීපව කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ජනාධිපතිතුමා වෙත සුබ පැතුම් එක් කළ සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් ඩම්බුඩ්සෝ මනන්ගග්වා Emmerson Dambudzo Mnangagwa මහතා ප්‍රකාශ කර ඇත.
සර්බියාවේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් වූසික් මහතා (Aleksandar Vucic) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක්කරමින් සඳහන් කර ඇත්තේ දෙරටේ සාම්ප්‍රදායික හා ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය වන බව තම විශ්වාසය බවත් ඒ සඳහා තම පුද්ගලික දායකත්වය ලබා දෙන බවත්ය.
ඉතියෝපියාවේ ජනාධිපති සහලේ වර්ක් සව්ඩේ (SahleWork Zewde) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් දෙරට අතර මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට විශ්වාසය පළ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-09

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.