Published on: මාර්තු 25, 2023

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට රජයේ කිසිඳු සූදානමක් නැහැ – සාගල රත්නායක මහතා

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට රජයේ කිසිඳු සූදානමක් නොමැති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

2015 කැබිනට් පත්‍රිකාවට අනුව සිවිල් ආරක්ෂක සේවය ක්ෂය වන සේවයක් ලෙස අනුමත කළත් එම කාලසීමාව ඉකුත්ව ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
ඒ අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්ට වසර 60 ක සේවා කාලයක නිරත වීම සඳහා වසර 55න් ඉදිරියට සේවා දිගුව ඉල්ලා සිටිය හැකි බව පෙන්වා දුන් සාගල රත්නායක මහතා එම කටයුතු කිසිවක් වෙනස් වි නොමැති අතර ඉදිරියට ද වෙනස් කිරීමට සූදානමක් නොමැති බව අවධාරණය කළේය.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඉටු කරන ලද සේවාව අගය කරමින් මොරටුව කටුබැද්දේ පිහිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ දී ඊයේ (24) පස්වරුවේ පැවැති ඇගයීම් උළෙලට එක් වෙමිනි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මාතෘ භූමියට ඉටු කළ සේවාව ඇගයීමට ලක් කෙරිණි.

සාගල රත්නායක මහතා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන්ගේ තොරතුරු විමසමින් ඔවුන් සමග සුහද කතා බහක නිරත වූ අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රංජිත් ළමාහේවගේ (විශ්‍රාමික) මහතා විසින් මෙම සංචාරය සනිටුහන් කරමින් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත සහ සාගල රත්නායක මහතා වෙත සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.

අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා සහ සාගල රත්නායක මහතා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු සොයා බලමින් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡාවකට ද එක් වූහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.