Published on: අගෝස්තු 3, 2022

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධව සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය ජනපති හමුවෙයි.

කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂයත්
පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු කණ්ඩායමත් ජනපති හමු වී සාකච්ඡා කරයි.

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳ දෙමළ ජාතික සන්ධානය අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කළේය.
එම්.ඒ. සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, සෙල්වම් අඩෛක්කලාදන්, එස්. රාසමානික්කම් යන මහත්වරු ඇතුළු මන්ත්‍රී කණ්ඩායම මීට එක්ව සිටී අතර සර්ව පාක්ෂික රජයක් පිළිබඳ සිය පක්ෂයේ අදහස් ඔවුහු දීර්ඝ ලෙස ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළහ.
මේ වන විට ගැසට් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අන්තර්කාලීන අයවැය පිළිබඳව ද ජනාධිපතිතුමා මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කළේය.
කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සහ පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු විජය ධරණි ජාතික සභාව ද අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කළහ.
අද ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණ.
සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා රජය සහ දේශපාලන පක්ෂ අතර පැවැත්වෙන සාකච්ඡා ඊයේ ආරම්භ කෙරණු අතර අද පැවැත්වුණේ එහි දෙවන සාකච්ඡා වටයයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද සාකච්ඡාවන්ට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-03

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.