Published on: අගෝස්තු 6, 2022

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ ජනපතිගේ වැඩපිළිවෙළට මහා සංඝරත්නය ආශිර්වාද පළ කරති.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට පූර්ණ ආශිර්වාදය පළ කරන බව මහා සංඝරත්නය පවසති.
රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (05) පස්වරුවේ නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ මූලස්ථානය වෙත ගොස් මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර එම අවස්ථාවට වැඩම කර සිටී මහා සංඝරත්නය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආශිර්වාද කරමින් මේ බව සඳහන් කළහ.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ රජයේ වැඩපිළිවෙළ පිළිබඳ රාමඤ්ඤ මහා නිකායේ හිමිවරු දැනුවත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.
“සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ රජය මේ වන විට දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කර තිබෙනවා. එම සාකච්ඡා සාර්ථකයි. ඒ අතර විවිධ මත දරණ කණ්ඩායම් සිටිනවා. ඒ වගේම විවිධ දක්ෂතා ඇති පිරිස් ඉන්නවා. ඒ සියලුදෙනාගේ අදහස්වලට ඇහුම්කන් දෙමින් ඔවුන්ගේ කුසලතා මත වගකීම් පැවරීමට බලාපොරොත්තු වෙනවා. සාකච්ඡා මගින් වැඩි මතයට ඉඩක් දීලා නිවැරදි වැඩපිළිවෙළක් රට වෙනුවෙන් ඉදිරිපත් කිරීම අපේ අරමුණයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය කෙරෙහි අද රටේ ජනතාව විශ්වාස තබා ඇති බව මෙහිදී සඳහන් කළ මහා සංඝරත්නය, එම විශ්වාසය තහවුරු කරන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ ලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ ශාසනරතන හිමිපාණන් වහන්සේ සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරි පූජ්‍ය හල්පන්විල පාලිත නාහිමිපාණන් වහන්සේ මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-06

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.