Published on: පෙබරවාරි 3, 2024

සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ලොව සියලු රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා

  • ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම දෙරට අතර ආර්ථික හවුල්කාරිත්වයේ සන්ධිස්ථානයක් – ජනපති.
  • තායි ජාත්‍යන්තර ගුවන් සේවය මාර්තු මස අග සිට බැංකොක් සහ කොළඹ අතර ගුවන් ගමන් අරඹයි.
  • ශ්‍රී ලංකා ජනපති සමඟ පැවැත්වූ ඵලදායී සාකච්ඡා දෙරට අතර සබඳතා නව මානයකට ගෙන යනු ඇතියි.
  • කලාපීය බහුපාර්ශ්වික සංසදවලට අදාළ ඉලක්ක උපරිමයෙන් සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමඟ එක්ව කැප වෙනවා- තායිලන්ත අගමැති.

ශ්‍රී ලාංකික ජනතාවට සමෘද්ධිමත් රටක් ගොඩනඟා දීම වෙනුවෙන් ලොව සියලු රටවල් සමඟ හවුල්කාරිත්වයන් ගොඩනඟා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

විශේෂයෙන්ම තායිලන්තය ඇතුළු නැඟෙනහිර ආසියානු සහ ආසියාන් කලාපය සතුව පවතින අනාගත හැකියාවන් සමඟින් ද්විපාර්ශ්වික වෙළෙඳාම වැඩිදියුණු කිරීම හරහා ආර්ථික වර්ධනය ඇති කර ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මහතා (Srettha Thavisin) සමඟ අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව නායක දෙපළ සහභාගී වූ ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමිනි.

මෙම ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක්වීමෙන් පසුව තායිලන්ත අගමැතිවරයා විසින්, ජනාධිපති කාර්යාලයේ තැන්පත් කර තිබූ විශේෂ ආරාධිතයන්ගේ සමරු ග්‍රන්ථයේ සටහනක් ද තැබීය.

ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමින් තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ තමා අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා රටවල් දෙක අතර පමණක් නොව විශේෂයෙන්ම බිම්ස්ටෙක්, ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමය (IORA) සහ ආසියාන් කලාපීය සංසදය (ASEAN) යන බහුපාර්ශ්වික සංසදවලදී දෙරටේ හවුල් වටිනාකම් සහ ඉලක්ක උපරිමයෙන් සාක්ෂාත් කර ගැනීමට ද ඉවහල් වන බවයි.

තායිලන්තය 2025 සිට 2027 දක්වා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය සඳහා ඉදිරිපත් වන ආසියාන් කලාපීය සංසදයේ අපේක්ෂකයා වන අතර මෙම සමුළුව සඳහා සබඳතා ප්‍රවර්ධනය කිරීමේ මැදිහත්කරුවකු ලෙස තායිලන්තය නමක් දිනා ඇති බව පැවසූ අග්‍රාමාත්‍යවරයා දෙරටේම ජනතාවගේ අභිවෘද්ධිය සඳහා මානව හිමිකම් ප්‍රවර්ධනය වෙනුවෙන් තායිලන්තයට සහ ශ්‍රී ලංකාවට ඵලදායී ලෙස එක්ව කටයුතු කළ හැකි බව ද පෙන්වා දුන්නේය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය,

තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මහතා, නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා, වාණිජ අමාත්‍යවරයා සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ මම බෙහෙවින් සතුටු වෙනවා.

හෙට දිනයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 76 වැනි ජාතික නිදහස් සැමරුම් උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීමට මා කළ ආරාධනය පිළිගැනීම පිළිබඳව අගමැති තවීසින් මහතා වෙත මාගේ ස්තූතිය පුද කිරීමට කැමැතියි.

එසේම තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ආර්ථික සහයෝගීතාව වේගවත් කර ගැනීමයි. මෙතෙක් අප දෙරටේ අවධානය යොමු නොවූ ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කර ගැනීමේ සැලකිය යුතු විභවයක් පවතිනවා.

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම (SLTFTA) අත්සන් කිරීම මීට සුළු මොහොතකට පෙර මම සහ තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ සිදු වුණා. මෙය ආසියාන් හවුල්කරුවකු සමඟ ශ්‍රී ලංකාව අත්සන් කරන දෙවන නිදහස් වෙළෙඳ ගිවිසුම වන අතර පළමු ගිවිසුම සිංගප්පූරුව සමඟ අප අත්සන් තැබුවා. මෙම ගිවිසුම ඇති කර ගැනීමේ දී දෙරටේම රජයන් කැපවීමෙන් සහ කාර්යක්ෂම කටයුතු කරනු ලැබුවා. මෙය අපගේ ආර්ථික හවුල්කාරිත්වයේ සන්ධිස්ථානයක් බව කිවයුතුයි. නිදහස් වෙළෙඳ ගිවිසුම මඟින් දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ඉහළ නංවනු ඇතැයි අපේක්ෂා කරනවා.

මීට අමතරව, අප දෙරට අතර සම්බන්ධතාව වැඩිදියුණු කිරීම සඳහා ගුවන් සේවා ගිවිසුම යාවත්කාලීන කර ඇති අතර ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනය සහ තායිලන්තයේ මැණික් හා ස්වර්ණාභරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කරනු ලැබූවා. මෙම ගිවිසුම් දෙකම දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ සංචාරක හුවමාරුව වැඩිදියුණු කිරීමට ඉවහල් වනු ඇතියි.

අද අප ශ්‍රී ලංකා – තායිලන්ත සබඳතා ශක්තිමත් කර ගැනීමේ ඉතා ඵලදායී සාකච්ඡාවල නිරත වුණා . එහිදී දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට අදාළ පුළුල් පරාසයක් ආවරණය කෙරුණු අතර ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංචාරක, වෙළෙඳ සහ අනෙකුත් ආර්ථික සහයෝගිතා ක්ෂේත්‍ර දියුණු කිරීම සඳහා පවතින ඉහළ විභවතාව පිළිබඳව ද අවධානය යොමු කෙරුණා.

එසේම ශ්‍රී ලංකාව තුළ ඉහළ මට්ටමේ ආයෝජන සිදු කිරීමට තායිලන්තයට ඇති හැකියාව පිළිබඳව ද මෙහිදී අප සාකච්ඡා කළා. කෘෂිකාර්මික සහ ධීවර ක්ෂේත්‍රවලට අදාළව දෙරටේ සහයෝගිතාව ඉහළ නංවා ගැනීමට රටවල් දෙකම දක්වන උනන්දුව පිළිබඳව අප මෙහිදී සවිස්තරාත්මකව අදහස් හුවමාරු කර ගනු ලැබුවා.

විශේෂයෙන් බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිත සංචාරක කර්මාන්තය සහ සමුද්‍රීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය පිළිබඳව ද අප සාකච්ඡා කළා. දෙරට අතර සංචාර සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් අන්‍යෙන්‍ය පදනම මත වීසා රහිතව සංචාරය කිරීම සඳහා පහසුකම් සැලසීමේ ගිවිසුමකට එළැඹීම පිළිබඳව සලකා බැලීමට ද අපි එකඟ වුණා.

මෙම වැඩපිළිවෙළ කඩිනමින් අවසන් කිරීමට අපගේ නිලධාරීන් කටයුතු කරනු ඇතියි.

ධීවර කර්මාන්තය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සංචාරක කර්මාන්තය, දේශගුණික විපර්යාස, මහජන සෞඛ්‍ය සහ කෘෂිකර්මාන්තය ඇතුළු ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ගේ ධාරිතාව ගොඩනැඟීම, විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම සහ පුහුණුව ලබා දීම සඳහා තායිලන්ත ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (TICA) විසින් වසර ගණනාවක් පුරා ලබා දුන් සහයෝගය වෙනුවෙන් මම තායිලන්ත අගමැතිවරයාට සහ තායිලන්ත රජයට ස්තූතිවන්ත වෙනවා.

දෙරට අතර ආරක්ෂක කටයුතුවලට අදාළ සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳව ද අප ඉතා ප්‍රයෝජනවත් සාකච්ඡාවක නිරත වූ අතර ඉදිරියේදී දෙරට අතර ආරක්‍ෂක අංශයේ සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ද අපේක්ෂා කරනවා.

විශේෂයෙන්ම මිනිස් ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම ඇතුළු අන්තර් ජාතික සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා දෙරටේ ආරක්ෂක ආයතන අතර තොරතුරු සහ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම වැදගත් වෙනවා.

බිම්ස්ටෙක් (BIMSTEC), ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමය (IORA), ආසියානු සහයෝගීතා කතිකාව (ACD) සහ ආසියාන් කලාපීය සංසදය (ARF) වැනි කලාපීය සංසදවලදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය මනා සහයෝගයකින් කටයුතු කිරීම පිළිබඳව ද අප සාකච්ඡා කළා.

තිරසාර හා සමබර වර්ධනයක් ප්‍රවර්ධනය කරමින් සමෘද්ධිමත්, ඔරොත්තු දීමේ හැකියාව සහ විවෘත කලාපයක් කරා බිම්ස්ටෙක් සංවිධානය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉදිරිපත් කර ඇති 2030 බැංකොක් දැක්ම වැනි විශේෂයෙන් බිම්ස්ටෙක් හි සභාපතිත්වය දරන කාලය තුළ තායිලන්තය ගෙන ඇති පියවර පිළිබඳව මම සුබපැතුවා. ඉන්දියානු සාගර කලාපයේ හවුල්කරුවන් ලෙස අප තායිලන්තය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.

විවිධ ජාත්‍යන්තර වේදිකාවල ද අපගේ රටවල් දෙක හොඳින් කටයුතු කර තිබෙනවා. විකාශනය වන නව ලෝක රටාව හැඩගැස්වීම සඳහා ඵලදායී බලපෑමක් ඇති කිරීම වෙනුවෙන් තායිලන්තය සහ ශ්‍රී ලංකාව වැනි ගෝලීය දකුණේ සමාන අදහස් ඇති රටවල් විසින් කළ යුතු බොහෝ දේ ඇති බව මම තායිලන්ත අග්‍රාමාත්‍යවරයා වෙත අවධාරණය කළා.

2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික ස්ථාවරත්වයේ සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබෙනවා. ආර්ථික වර්ධනය සහ සෞභාග්‍යය ඇති කිරීමේදී මාගේ එක් ප්‍රධාන උපාය මාර්ගයක් වන්නේ තායිලන්තය ද ඇතුළුව විශේෂයෙන් නැගෙනහිර ආසියානු සහ ආසියාන් කලාපය විසින් තහවුරු කර ඇති අනාගත විභවයන් සමඟ ද්විපාර්ශ්වික වෙළෙඳාම වැඩිදියුණු කිරීමයි. බාහිර හවුල්කරුවන් සමඟ සම්බන්ධ වීමට අපි සූදානම් මෙන්ම අපගේ අරමුණ වන්නේ අපගේ ජනතාවගේ සමෘද්ධිය සහතික කිරීමයි.

ආසියානු සියවස උදාවීමත් සමඟ අප අතර දැනටමත් පවතින සාම්ප්‍රදායික මිත්‍රත්වය මත ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සහයෝගීතාව සඳහා පුළුල් අවකාශයක් ඇතැයි අප විශ්වාස කරනවා.

මාගේ රජයේ විදේශ ප්‍රතිපත්තිය ගිනිකොනදිග ආසියාව සමඟ ආර්ථික ඒකාබද්ධතාව ශක්තිමත් කර ගැනීමයි.

ආසියාවේ සහ පැසිෆික් කලාපයේ රටවල ආර්ථිකයන් 15ක් සහ ලෝකයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සහ ජනගහනයෙන් 30%ක් ආවරණය වන පරිදි ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම වන කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයෙහි (RCEP) කොටසක් වීමට ද අප කැමැත්තෙන් පසු වෙනවා.

ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කිරීමට පටන් ගන්නා අවස්ථාවේ ප්‍රකෘතිමත් වීම සහ වර්ධනය පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය ගොඩනඟාගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව ආසියාව සමඟ ආර්ථික පරිවර්තනය හා ඒකාබද්ධතාව පිළිබඳ ඉතා වැදගත් ගමනක් ආරම්භ කර තිබෙන අතර එහිදී තායිලන්තයේ සහයෝගය ද අප බලාපොරොත්තු වනවා.

මෙම ඒකාබද්ධ මාධ්‍ය හමුවෙන් අනතුරුව පැවැත්වෙන ශ්‍රී ලංකා – තායිලන්ත ව්‍යාපාරික සංසදයේ දී අපගේ ව්‍යාපාරික ප්‍රජාවන් හමුවනු ඇතියි. තායිලන්තයේ සමාගම් 21ක ඉහළ පෙළේ ව්‍යාපාරික නියෝජිත පිරිසක් ආහාර හා ආහාර සැකසුම්, සෞඛ්‍ය, බලශක්ති, ආගන්තුක සත්කාර, සංචාරක, ධීවර, කෘෂිකාර්මික සහ නිෂ්පාදන ක්ෂේත්‍ර නියෝජනය කරමින්, ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ප්‍රජාව සමඟ සහයෝගීතාවක් ගොඩනඟා ගැනීමට තිබෙන දැඩි උනන්දුව පිළිබිඹු කරමින් ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව දැකීමට ලැබීම ගැන මම සතුටු වෙනවා.

මෙය අපගේ සමාගම්වලට තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගෙන් සහ මගෙන් සෘජුව විමසීම් සිදු කර වෙළෙඳාම සහ.

ව්‍යාපාර සඳහා ඇති හැකියාව අවබෝධ කර ගැනීමට ඉතා ප්‍රයෝජනවත් අවස්ථාවක් වනු ඇතියි. ඉදිරියේදී අප දෙරටේ සමාගම් සඳහා නිරන්තරයෙන් සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙමින් එවැනි තවත් බොහෝ අවස්ථා නිර්මාණය කිරීමට අපේක්ෂා කරනවා.

ආර්ථික වශයෙන් මෙන්ම අප දෙරට අතර පවතින ඓතිහාසික හා ආගමික සබඳතා තවදුරටත් තහවුරු කළ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව අග්‍රාමාත්‍ය තවීසින් මහතා ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසට ස්තූතිය පුද කරන අතර මෙම සංචාරයේදී අප ඇතිකරගත් එකඟතා සම්බන්ධයෙන් සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කරනවා.

තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් (Srettha Thavisin) මහතා,

අතිගරු ජනාධිපතිතුමාගෙන් සහ ශ්‍රී ලංකා රජයෙන් ලද උණුසුම් පිළිගැනීම සහ ආගන්තුක සත්කාරය පිළිබඳව මාගේ ඉමහත් ගෞරවය මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

අද පස්වරුවේ ජනාධිපතිතුමා සහ මා ඉතා ඵලදායී සාකච්ඡාවක නිරත වුණා. අප එහිදී පුළුල් පරාසයක කරුණු පිළිබඳව සාකච්ඡා කළා. අප දෙරට අතර පවතින ඓතිහාසික හා සංස්කෘතික සම්බන්ධතා මත, විශේෂයෙන්ම ථෙරවාදි බුදු දහම මත පදනම්ව අපගේ ශක්තිමත් සහ සමීප සබඳතා එමඟින් යළි යළිත් තහවුරු කෙරුණා. ඒ වගේම අප දෙරට අතර අත්සන් තැබුණු නිදහස් වෙළෙඳ ගිවිසුම අනුව ඉදිරියේ දී දෙරට අතර වෙළෙඳාම සහ ආයෝජන සැලකිය යුතු ලෙස වර්ධනය වනු ඇති බව මා විශ්වාස කරනවා.

අද සන්ධ්‍යාවේ පැවැත්වෙන ශ්‍රී ලංකා-තායිලන්ත ව්‍යාපාරික සංසදය දෙපාර්ශ්වයටම දැවැන්ත ව්‍යාපාරික අවස්ථා බොහෝමයක් විවෘත කරනු ඇතියි. මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ වෙළෙඳාම සහ ආයෝජන වෙනුවෙන් අප පෞද්ගලික අංශය ද දිරිමත් කරනවා.

නිදහස් වෙළෙඳ ගිවිසුමට අමතරව වැදගත් අවබෝධතා ගිවිසුම් දෙකකටද අද අප අත්සන් කරනු ලැබුවා.

එහි පළමු වැන්න වන නව ගුවන් සේවා ගිවිසුම මඟින් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංචාරක සහ සැපයුම් සේවා වැඩි දියුණු කරනු ඇතියි. ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනය සහ තායිලන්තයේ මැණික් හා ස්වර්ණාභරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණා.

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය තුළ ධාරිතා ගොඩනැඟීම, තොරතුරු සහ තාක්ෂණය බෙදාගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම තවත් ඉදිරි පියවරක් ලෙස මෙම ගිවිසුම හැඳින්විය හැකියි.

අන්දමන් මුහුද තායිලන්ත බොක්ක හා සම්බන්ධ කරන අපගේ ගොඩබිම් පාලම් ව්‍යාපෘතිය මඟින් තායිලන්තය, අග්නිදිග ආසියාවේ සැපයුම් කේන්ද්‍රස්ථානය බවට පත් වීම සහ පැසිෆික් සාගරය සහ ඉන්දියන් සාගරය අතර සංක්‍රමණ කාලය අඩු කිරීම අරමුණු කරනු ලබනවා. ගොඩබිම් පාලම් ව්‍යාපෘතිය සහ කොළඹ වරාය අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම තුළ ද තායිලන්තයට සහ ශ්‍රී ලංකාවට අත්වැල් බැඳගත හැකි වනවා.

එපමණක් නොව, විශේෂයෙන්ම ධීවර, ආහාර සැකසුම්, සංචාරක, ආගන්තුක සත්කාර සහ හරිත බලශක්තිය වැනි ඉලක්කගත ක්ෂේත්‍රවල ද දෙරට අතර ආයෝජන ප්‍රවර්ධනය කිරීමට අප එකඟ වුණා.

සංචාරක කටයුතු සම්බන්ධයෙන්, Thai Airways International (තායි එයාර්වේස් ඉන්ටර්නැෂනල්) මඟින් මෙම වසරේ මාර්තු 31 වන දින සිට බැංකොක් සහ කොළඹ අතර දෛනික වාණිජ ගුවන් ගමන් නැවත ආරම්භ කරන බව මම සතුටින් ප්‍රකාශ කරනවා.

තායි එයාර්වේස් ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම දෙරට අතර සම්බන්ධතා වඩා සමීප කරනු ඇතියි. ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සමුද්‍රීය සංචාරක ව්‍යාපාරය තායිලන්තය විසින් යෝජනා කරනවා. එසේම ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංස්කෘතික හා බෞද්ධ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම ද අපගේ සාකච්ඡාවන්හි අවධානය යොමු වූ තවත් ප්‍රධාන කාරණාවක් බව කිවයුතුයි.

වීසා නොමැතිව දෙරට අතර ගමන් කිරීමට අවස්ථාව සැලසීම මඟින් දෙරටේ ජනතාව අතර සම්බන්ධතා වැඩිදියුණු කිරීම සහ නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ආර්ථික සහයෝගීතාව ද ප්‍රවර්ධනය කෙරෙනවා. වීසා නොමැතිව දෙරට අතර ගමන් කිරීමට අවස්ථාව සැලසීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබඳව ද දෙපාර්ශ්වය තවදුරටත් සාකච්ඡා කරනවා.

කෘෂිකාර්මික සහ ධීවර ක්ෂේත්‍ර කෙරෙහි මූලික අවධානය යොමු කරමින් 2024 – 2025 දෙවසරක සැලැස්මක් යටතේ ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය සඳහා තායිලන්තයේ සහාය ලබා දෙන බව මම නැවතත් තහවුරු කරනවා.

සාගර විසිතුරු මත්ස්‍ය අභිජනන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මෑතකාලීන හුවමාරුවල සාර්ථකත්වය ගැන දැන ගැනීමට ලැබීම පිළිබඳව ද මම සතුටු වෙනවා.

තවද, අලි ඇතුන්ගේ සුරක්ෂිතභාවය සහ සුබසාධනය පිළිබඳව ඒකාබද්ධ මුලපිරීමක් සඳහා ද අප සූදානම් වෙමින් සිටිනවා.

පසුගිය වසරේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුතුරාජා සහ සක්සුරින් නැවත තායිලන්තයට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය විසින් පහසුකම් සැලසීම තායිලන්ත රජය විසින් අගය කරනු ලබනවා. අනෙකුත් ඇතුන් දෙදෙනා ද අපගේ මිත්‍රත්වයේ සහ සමීප සබඳතාවේ සංකේතයක් වන බැවින් ඔවුන් හොඳින් රැකබලා ගැනීමට ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම පිළිබඳව ද අපි ස්තූතිවන්ත වෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මම ද්විපාර්ශ්වික මට්ටමින් පමණක් නොව, විශේෂයෙන්ම බිම්ස්ටෙක්, ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමය (IORA) සහ ආසියාන් කලාපීය සංසදය (ASEAN) යන බහුපාර්ශ්වික සංසදවලදී ද අපගේ හවුල් වටිනාකම් සහ ඉලක්ක උපරිමයෙන් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරනවා.

මෙම වසරේ හයවන බිම්ස්ටෙක් සමුළුවේ සත්කාරකත්වය දරන තායිලන්තය, ඒ සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී සහ ඵලදායී සහභාගීත්වය අපේක්ෂා කරනවා.

තායිලන්තය 2025 සිට 2027 දක්වා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය සඳහා ඉදිරිපත් වන ආසියාන් කලාපීය සංසදයේ අපේක්ෂකයා වන අතර මේ සමුළුව සඳහා සබඳතා ප්‍රවර්ධනය කිරීමේ මැදිහත්කරුවකු ලෙස ද අප නමක් දිනා සිටිනවා .දෙරටේම ජනතාවගේ අභිවෘද්ධිය සඳහා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා තායිලන්තයට සහ ශ්‍රී ලංකාවට ඵලදායී ලෙස එක්ව කටයුතු කළ හැකි බව මගේ විශ්වාසයයි.

හෙට දිනයේදී මා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකාවේ 76 වැනි ජාතික නිදහස් සංවත්සරය වෙනුවෙන් මගේ උණුසුම් සුබ පැතුම් එක් කිරීමට ද මෙය අවස්ථාවක් කර ගන්නවා.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.