Published on: පෙබරවාරි 28, 2024

සංහිඳියාව තුළින් සංවර්ධනය උදාකර ගැනීම රජයේ අරමුණයි

  • රට තුළ සංහිඳියාව ගොඩනැඟීම වෙනුවෙන් පසුගිය දෙවසර තුළ රජය සාධනීය පියවර රැසක් ගනු ලැබුවා.
  • සංහිඳියාව කරා යන ගමනේදී ආගමික නායකයන්ට පුළුල් වැඩකොටසක් පැවරී තිබෙනවා – ජාතික අන්තර් ආගමික සමුළුව අමතමින් ජනපති පවසයි.

ජාතිවාදය සහ ආගම්වාදය බැහැර කළ ලොව සියලු රටවල් වේගවත් සංවර්ධනයක් උදාකරගත් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංහිඳියාව තුළින් සංවර්ධනය උදාකර ගැනීම රජයේ අරමුණ බව සඳහන් කළේය.

දේශපාලනඥයන් බලය ලබා ගැනීමේ සහ ආගමික නායකයන් සිය තනතුරුවල රැඳී සිටීමේ කෙටි මාර්ගය බවට ජාතිවාදය සහ ආගම්වාදය පත්ව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දීර්ඝ කාලයක් පුරා සිදුවූ මෙම කටුක අත්දැකීම රට බිහිසුණු යුද්ධයකට ඇද දැමූ බවද සිහිපත් කළේය.

එබැවින් රට තුළ සංහිඳියාව සහ ආගමික සහජීවනය ගොඩනැඟීමට සියලුදෙනා එක්විය යුතු බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ වෙනුවෙන් රජය මේ වන විට සාධනීය පියවර රැසක් ගෙන තිබෙන බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “සංහිඳියාව සඳහා ආගම්” ජාතික අන්තර් ආගමික සමුළුව අමතමිනි.

දිස්ත්‍රික්ක 17ක් ආවරණය කරමින් වසර 3ක් පුරා ක්‍රියාත්මක කරන ලද “ගැටුම් විපරිවර්තනය උදෙසා වූ බහුවිධ ක්‍රියාකාරීත්වය” ව්‍යාපෘතියේ අවසානය සනිටුහන් කිරීම වෙනුවෙන් මෙම අන්තර් ආගමික සමුළුව සංවිධානය කර තිබිණි.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ සිටි දිස්ත්‍රික් නියෝජිතයන් විසින් යොමු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමටද කටයුතු කළේය.

සමුළුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය,

ආගමත්, සංහිඳියාවත් අතර තිබෙන සම්බන්ධතාව අප හොඳින් දන්නවා. ජාතිවාදයේ මෙන්ම ආගම්වාදයේ අත්දැකීම් අපට තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අප බිහිසුණු යුද්ධයකට මුහුණ දුන්නා. යුද්ධය අවසන් වීමෙන් පසු සහජිවනය පිළිබඳ අපේ අවධානය යොමුව තිබෙනවා.

සහජීවනය ගොඩනැගීමේ දී සියලු ආගමික නායකයන්ට ප්‍රධාන වගකීමක් පැවරී තිබෙනවා. අපගේ සිතුවිලි පිළිබඳ එහිදී අවධානය යොමු කළ යුතුයි. දේශපාලනඥයන්ගේ සිතිවිල්ල නම් බලය ලබා ගැනීමයි. ආගමික නායකයන්ගේ සිතිවිල්ල නම් එම ස්ථානවල රැඳී සිටීමයි. මේ සියල්ලේ කෙටි මාර්ගය තමයි ජාතිවාදය සහ ආගම්වාදය. 1930 සිටම අපේ රට තුළ මෙය සිදුවුණා. එහි අවසාන ප්‍රතිඵලය වූයේ කුමක්ද කියා මා අමුතුවෙන් සඳහන් කළයුතු නැහැ.

උදාහරණයක් ලෙස සඳහන් කළහොත් සිංගප්පූරුවේ ජාතිවාදය සහ ආගම්වාදය තිබුණේ නැහැ. භාෂා කිහිපයක් පැවතියත් සිංගප්පූරුව අද වේගවත් සංවර්ධනයක් ලබාගෙන තිබෙනවා.

දැන් යුදමය තත්ත්වයක් නැති නිසා රටේ දේශපාලන ප්‍රශ්න විසඳෙමින් තිබෙනවා. එබැවින් අප සහජිවනය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. අපි පාර්ලිමේන්තුවේ දීත් මේ පිළිබඳව කතා කරනවා. කරු ජයසූරිය මැතිතුමා කථානායකවරයා ලෙස ශ්‍රී ලංකාවේ ජාතික සහ ආගමික සහජීවනය සහතික කිරීම සඳහා වූ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. එම කාරක සභාව පත් කළේ 2018 මාර්තු මාසයේ මුස්ලිම් ජනතාව සම්බන්ධව ඇති වූ ගැටුම්වලටත්, 2017 වසරේ ගාල්ලේ ඇති වූ ගැටුම්වලටත් ඒ වගේම 2014 වසරේ බේරුවල සිදුවු ගැටුම්වලටත් අදාළවයි. එම ප්‍රශ්න විසඳීම සඳහා මෙම තේරීම්කාරක සභාවලින් යෝජනා ගණනාවක් ඉදිරිපත් කළා. එම යෝජනාවලට අප සියලුදෙනාම එකඟ වුණා. අපි කණ්ඩායමක් ලෙස මෙහිදී එකඟත්වයකින් යුතුව කටයුතු කළා.

එසේ නම් එම එකඟත්වය අනුව අප ඉදිරියට යා යුතුයි.

පසුගිය වසරේ අවසාන කාලයේ දී සංඝයා වහන්සේ සහ ද්‍රවිඩ නායකයන් කිහිප දෙනකු පැමිණ හිමාලයා ප්‍රකාශය භාර දුන්නා. එම ප්‍රකාශය අනුවත් අපි කටයුතු කරගෙන යනවා. දැන් තිබෙන්නේ සහජීවනය ගොඩනැඟීමේ අවසාන කොටස. විශේෂයෙන් ද්‍රවිඩ දේශපාලන පක්ෂ සහ මන්ත්‍රීවරු සමඟ අප මේ පිළිබඳ සාකච්ඡා කරගෙන යනවා. ඉතිරිව තිබෙන ප්‍රශ්න අප විසඳාගත යුතුයි. අතුරුදන්වූවන්ගේ ගැටලුව විසඳීමට අවශ්‍ය පියවර දැනට ගෙන තිබෙන අතර ඒ පිළිබඳ අප ඉදිරියේ දී දැනුම් දෙනවා. ඒ වගේම මේ සම්බන්ධව සිරගතව සිටි පිරිසගෙන් කොටසක් නිදහස් කිරීමට ද කටයුතු කර තිබෙනවා.

දැනට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අතුරුදන්වූවන්ට කුමක්ද සිදු වුණේ යන්න. මේ සඳහා අප සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව පිහිටුවීම වෙනුවෙන් වන පනත් කෙටුම්පත (TRC) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගෙන තිබෙනවා. අතුරුදන් වූවන් පිළිබඳ කොමිෂන් වාර්තා ගණනාවක් තිබුණා. ඒ සියල්ල පිළිබඳ සාකච්ඡා කර ඒ.එච්.එම්.ඩී. නවාස් විනිශ්චයකාරතුමා යටතේ එක් වාර්තාවක් ලබාගෙන තිබෙනවා.

අප සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම පිළිබඳ කෙටුම්පත සම්මත කර ගැනීමෙන් පසුව දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රමපෝසා මැතිතුමා ප්‍රකාශ කළා මෙම වැඩසටහන් සඳහා ඔවුන්ගේ ආධාර ලබා දෙනවා කියලා. වෙනත් රටවලිනුත් අපට එම ආධාර ලැබෙනවා. ඒ අනුව මෙම කටයුතු ඉදිරියට ගෙන යනවා.

ඉන්පසුව ඉතිරි වන්නේ දේශපාලන ප්‍රශ්නයි. එහිදී ඉඩම් ගැටලුව විසඳීම පිළිබඳ අප අවධානය යොමු කර තිබෙනවා.

යාපනයේ සහ එම ප්‍රදේශවල තිබෙන්නේ ගම්වැසියන් සහ වනජීවි දෙපාර්තමේන්තුව අතර තිබෙන ගැටුම්. මෙවැනි ගැටුම් වවුනියාවේ, ත්‍රිකුණාමලයේ වගේම පොළොන්නරුව සහ මහියංගණය ප්‍රදේශවලත් තිබෙනවා. අප සියලු පාර්ශ්ව කැඳවා මේ ප්‍රශ්න විසඳගෙන යනවා. එහිදී 1985 සිතියම අනුව කටයුතු කිරීමට මම උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ වගේම ලබන සතියේ දී ද්‍රවිඩ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී මුණ ගැහිලා මේ පිළිබඳ සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ආරක්ෂක හමුදාව සමඟ සාකච්ඡා කිරීමෙන් පසු තවත් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කිරීමට ඔවුන් එකඟව තිබෙනවා. අපට මේ අන්දමින් ඉදිරියට යා හැකියි.

අනෙක් කාරණය වන්නේ බලය බෙදීමයි. මෙහි මුලික ඉල්ලීමක්ව පවතින්නේ බලය බෙදීම පිළිබඳ 3වන ලැයිස්තුවේ බලතල ලබාදීමයි. අපි පොලිස් බලතලවලට අත තැබීමට යන්නේ නැහැ. එය පසුව කළහැකියි. ඉඩම් පනත ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම 3 වන ලැයිස්තුවේ තිබෙන අනෙකුත් විෂයයන් භාරදීම පිළිබඳ අපට ගැටලුවක් නැහැ. තුනෙන් දෙකක් ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂ සමඟත් ඊට එකඟවීමට සිදු වෙනවා. ඒ පිළිබඳ අපේ ගැටලුවක් නැහැ.

ඒ සමඟම පළාත් අධ්‍යාපන මණ්ඩලය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අප දැනට සාකච්ඡා කරගෙන යනවා. එහිදී සෑම පළාතකම පළාත් වෘත්තීය පුහුණු ආයතන ඇති කිරීමට අප යෝජනා කර තිබෙනවා. ඒ වගේම සංචාරක මණ්ඩලයක් වගේම කෘෂිකර්ම නවීකරණය සඳහා පළාත් මට්ටමේ කමිටු පත් කර අදාළ වැඩකටයුතු කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අමාත්‍යාංශ විසි ගණනක වැඩ කටයුතු පළාත් අමාත්‍යාංශ 05කින් සිදු කිරීමට ද බලාපොරොත්තු වෙනවා. එහිදී සාමාන්‍ය අමාත්‍යාංශයක ස්වරූපය ගන්න බැහැ. ඒ නිසා ඒවායේ ස්වරූපය වෙනස් කිරීම පිළිබඳ නිලධාරීන් දැන් සාකච්ඡා කරගෙන යනවා.

සියලු පක්ෂ එක් වූ පසු මෙහි අවසන් කොටස වන විමධ්‍යගත අයවැය පිළිබඳ කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ද්විතීය මණ්ඩලයක් පිළිබඳ ඉල්ලීමක් තිබෙනවා. ඒ කියන්නේ සෙනෙට් සභාවක්. ඒ සඳහා ආණ්ඩුවේ විරුද්ධත්වයක් නැහැ. නමුත් එය කිරීමට සිදු වන්නේ ව්‍යවස්ථාවක් සකස් කරන අවස්ථාවකදීයි. මොකද ජනමත විචාරණයකට වුවත් යාමට සිදුවිය හැකියි. මේ පිළිබඳ අනෙකුත් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමට ද මම බලාපොරොත්තු වෙනවා.

මෙම පියවරයන් සමඟ රට තුළ අප නව පසුබිමක් සකස් කළ යුතුයි. ඒ සඳහා ආගමික නායකයන්ට පුළුල් වගකීමක් පැවරී තිබෙනවා. මෙම කරුණු පිළිබඳ මෙහිදී තවදුරටත් සාකච්ඡා කර සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි කියා මම විශ්වාස කරනවා.

මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන් සහ නියෝජිතයන් ද , හිටපු කථානායක කරු ජයසූරිය, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ෆෙලික්ස් නියුමාන් (Dr. Felix Neumann), ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් සැන්ඩල් එඩ්වින් ශල්ක් (Sandile Edwin Schalk), මිසරියෝ සංවිධානයේ ශ්‍රී ලංකාව සහ ඕෂනියා කලාපීය නිලධාරී කොරීනා බෘක්මාන් (Corinna Broeckmann), යුරෝපා සංගමයේ සහයෝගීතා ප්‍රධානී යොහාන් හෙස් (Johann Hesse) යන මහත්ම මහත්මීන් ඇතුළු තානාපති කාර්යාලවල නියෝජිතයින්, අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝතී සරවනමුත්තු, ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ සභාපති ආචාර්ය ජෝ විලියම් යන මහත්වරු ඇතුළු නිලධාරීන් සහ “ගැටුම් විපරිවර්තනය උදෙසා වූ බහුවිධ ක්‍රියාකාරීත්වය” ව්‍යාපෘතියේ නියෝජිතයන් ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.