Published on: මාර්තු 15, 2024

සංවර්ධන කටයුතු සඳහා රජය ලබා දෙන මුදල් නිසි ලෙස වැය කරමින් එහි ප්‍රතිලාභ ජනතාවටත්, රටටත් ලබා දෙන්න

  • “අස්වැසුම” සඳහා රුපියල් බිලියන 183ක්.
  • “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියන 02ක්.
  • විමධ්‍යගත අය වැය වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 11,250ක්.
  • “කඳුකර දශකය” වෙනුවෙන් රුපියල් බිලියන 10ක්.
  • කෘෂි නවීකරණ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 2,500ක් වෙන් කෙරේ.
  • සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නවීන කෘෂි ආර්ථිකයක් ඇති කරනවා.
  • ශ්‍රම බලකාය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට සැලසුම් – දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රදේශීය ලේකම්වරු සමඟ පැවති හමුවේ දී ජනපති අවධාරණය කරයි.

සංවර්ධන කටයුතු සඳහා රජය ලබා දෙන මුදල් නිසි ලෙස වැය කරමින් ජනතාවට එම ප්‍රතිලාභ ලබා දීමටත්, එමඟින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමටත් කැපවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

එසේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති “අස්වැසුම” “උරුමය” සහ කෘෂි නවීකරණ වැඩසටහන මෙන්ම “කදුරට දශකය” වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් සක්‍රීයව දායකවන ලෙස ද ඉල්ලා සිටි ජනාධිපතිවරයා මෙම සියලු වැඩසටහන්වල ප්‍රතිලාභ නැවත ජාතික ආර්ථිකයට එක් වන බව ද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ රජය ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග අද (15) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ දී පැවති සාකච්ඡාවේදීය.

“සවිමත් අනාගතයට පෙරවදනක් – 2024′ යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම හමුවේ දී රජය විසින් ක්‍රියාවට නංවා ඇති සංවර්ධන වැඩසටහන් සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටළු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

“අස්වැසුම” වැඩසටහන යටතේ පවුල් මිලියන 2කට ප්‍රතිලාභ හිමිවන අතර එම පවුල් සංඛ්‍යාව මිලියන 2.4ක් දක්වා ඉහළ නැංවිමට නියමිතය. ඒ වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් බිලියන 183කි.

එමෙන්ම පවුල් ලක්ෂ 20කට “උරුමය” සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමට නියමිත අතර ඒ සඳහා රුපියල් බිලියන 2ක් වෙන් කර තිබේ.

විමධ්‍යගත අයවැය වැඩසටහන දිස්ත්‍රික්ක 25 තුළම ක්‍රියාත්මක කිරීම සඳහා රජය රුපියල් මිලියන 11,250ක ප්‍රතිලාභ වෙන් කර ඇත.

“කඳුරට දශකය” වැඩසටහන දිස්ත්‍රික්ක 11ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 93ක, ග්‍රාම නිලධාරී වසම් 4,401ක ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

කෘෂි නවීකරණ වැඩසටහනේ පළමු අදියර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26කත්, දෙවන අදියර ප්‍රාදේශී ලේකම් කොට්ඨාස 75කත් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2,500ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

මෙම මුදල් නිසි ලෙස වැය කරමින් අපේක්ෂිත සංවර්ධන අරමුණ ඉටු කර ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නවීන කෘෂි ආර්ථිකයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවත් ශ්‍රම බලාකය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට අවශ්‍ය පියවරා ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ කථාව මෙසේය,

රටේ ආර්ථිකය කඩා වැටීමෙන් පසු නැවත ආර්ථික වර්ධන වේගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ මෙම 2024 වසරේදීයි. 2019 වසරේදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා රටේ ආර්ථික වර්ධන වේගය පහත වැටුණා. ඉන් පසුව කොවිඩ් වසංගතය නිසා 2022 වසර වන විට ආර්ථකය වර්ධන වේගය සීග්‍රයෙන් පහත වැටුණා.

ඉන් පසුව අප මෙම 2024 වසරේදී 2%ක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. අප මෙම වසරේදී 2%ක ආර්ථික වර්ධනයක් ලබාගත්ත ද 2019 වසරේ පැවති තත්ත්වයට පැමිණීමට තව වසර දෙක තුනක් පමණ ගතවනු ඇතියි. කෙසේ වෙතත් 2027 වසරට හෝ ඊට පෙර එම ඉලක්කය වෙත ළඟා වීම මගේ අරමුණයි.

2022 වසරේ මම රට භාරගන්නා විට රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටී තිබුණා. එහිදී මම ප්‍රමුඛත්වයක් ලබා දුන්නේ යල කන්නය සාර්ථක කර ගැනීම සඳහායි. ඉන් පසුව මහ කන්නය සාර්ථක කර ගැනීමට කටයුතු කළා. එදා අපට මුදල් තිබුණේ නැහැ.

ලෝක ආහාර සංවිධානය මාර්ගයෙන් ඇමරිකාව අපට පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ලබා දුන්නා. ඉන්දියාවෙන් යුරියා මෙට්‍රික් ටොන් 40,000ක් ලබා දුන්නා. ලෝක බැංකුවෙන් පොහොර මෙට්‍රික් ටොන් 135,000ක් ලැබුණා. මේ නිසා යල කන්නය වගේම මහ කන්නය ද සාර්ථක කර ගැනීමට අපට හැකියාව ලැබුණා.

අප දැන් එතනින් ඉදිරියට යා යුතුයි. ඉදිරි වසර 10-15 තුළ රටේ අඩු ආදායම්ලාභීන්ගේ සංඛ්‍යාව අඩු කර ගැනීම අපේ අරමුණයි. කෙසේ වෙතත් සහන අවශ්‍ය ජනතාවට එම සහනය ලබාදීමට අප දැන් කටයුතු කර තිබෙනවා. ඒ අනුව අස්වැසුම මගින් අප ලබාදෙන මුදල් ප්‍රමාණය වැඩිකර තිබෙනවා. එම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාවද වැඩි කිරීමට අප පියවර ගෙන තිබෙනවා. මෙම වැඩපිළිවෙළේ යම් අඩු පාඩු තිබිය හැකියි. අප මෙම වසරේදී එම අඩු පාඩු සකස් කර ගනිමින් ඉදිරියට යා යුතුයි.

මෙම අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් අප ලබාදෙන මුදල් සියල්ල නැවත රටේ ආර්ථිකයට එකතු වෙනවා.ඒ ඔවුන් එම මුදල් එදිනෙදා අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා වැය කරන නිසයි. ඒ අනුව මෙම වසරේදී මෙම මුදල් ටික රටේ ආර්ථිකයට එකතු වෙනවා. ඒ වගේම ආණ්ඩුවෙන් වැටුප් වැඩි කළ නිසා පුද්ගලික අංශයේ ද වැටුප් වැඩි කිරීම් සිදු වෙනවා. ඒ වගේම වතුකරයේ ද ඒ පිළිබඳ සාකච්ඡා කරනවා. ඒ නිසා මේ වැටුප් වැඩි කිරීමේ වාසිය ආර්ථිකයට ලැබෙනවා.

තෙවනුව තිබෙන්නේ විමධ්‍යගත අයවැයයි. පසුගිය සමයේ සංවර්ධන කටයුතු නැවතුණා. ඒ නිසා කොන්ත්‍රාත්කරුවන්ට සහ සැපයුම්කරුවන්ට ලැබෙන මුදල් අහිමි වුණා. මෙම වසරේදී මෙම මුදල් නැවත ආර්ථිකයට එක් වෙනවා. මීට අමතරව අප කදුරට දශකය ආරම්භ කර තිබෙනවා. කදුකර ප්‍රදේශ මෙතෙක් නිසි ලෙස සංවර්ධනය වෙලා නැහැ. අප ඒ වෙනුවෙන් මුදල් ලබාදීමට කටයුතු කර තිබෙනවා. මෙම මුදලත් වැය කළ විට එයත් රටේ ආර්ථිකයට එක් වෙනවා.

ඒ නිසා රජය ලබා දෙන මෙම සියලු මුදල් නිසි ලෙස වැය කරන ලෙස මම ඉල්ලා සිටිනවා. මෙම මුදල් අදාළ විෂයන් සඳහා යොදවන්න. එවිට මෙම මුදල් රටේ ආර්ථිකයට එක්වෙනවා.

ඒ වගේම ජනතාවට සින්නකර ඉඩම් අයිතිය ලබාදීමේ “උරුමය” වැඩසටහන අප ක්‍රියාත්මක කර තිබෙනවා. ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවකට මෙමඟින් විසඳුම් ලැබෙනවා. ඒ අනුව පළමු අදියර යටතේ ලක්ෂ 10කට ඉඩම් අයිතිය ලබාදීමේ සියලු කටයුතු මේ වන විට සකස් කර අවසන්. ගැටලු ඇති තැන්වල එම ගැටලු නිරාකරණය කර ගනිමින් එම කටයුතු ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරනවා. ඒ වගේම ජනතාවට ඔවුන් වෙසෙන තට්ටු නිවාසවල අයිතිය ලබාදිමට ද පියවර ගෙන තිබෙනවා.

අපට පවතින ආර්ථික ක්‍රමය තුළ ඉදිරියට යන්න බැහැ. රට බංකොළොත්භාවයෙන් නිදහස් කර ගැනීමට දැන් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ගෙවීමට තිබෙන ණය සඳහා අප සහන කාලයක් ඉල්ලා තිබෙනවා. මෙහිදී අප මතක තබා ගත යුත්තේ අපේ අපනයන වලට වඩා ආනයන වැඩි බවයි. ආනයන, අපනයන පරතරය පියවීමට අපට සෑම වසරකම ණය ගැනීමට සිදු වෙනවා. ඒ නිසා අපි සැලැස්මක් අනුව කටයුතු කළයුතුයි.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අප සියලුදෙනා දුක් වින්දා. අප නැවත එම තත්ත්වයට පත් වුවහොත් අප සිදු කළ කැපවීම්වල ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අප සියලුදෙනා කැපවිය යුතුයි.

අප එම වැඩපිළිවෙළ ආරම්භ කළේ සංචාරක ව්‍යාපාරයෙන්. මෙම දෙසැම්බර් මාසය වන විට සංචාරකයන් විශාල ප්‍රමාණයක් අපේ රටට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. බටහිර ආර්ථිකය අනුව ඇඟළුම් කර්මාන්තය පිළිබඳ විශාල බලාපොරොත්තුවක් තබන්න බැහැ.ඒ නිසා අප කෘෂිකර්මාන්තය කෙරෙහි අවධානය යොමු කළයුතුයි. සිංහල රජ සමයේ සිට බ්‍රිතාන්‍ය පාලනය අවසන් වන තුරු අප කෘෂිකර්මාන්තයේ නිරත වු ජාතියක්. එදා අපේ කෘෂි අපනයන කර්මාන්තය ශක්තිමත්ව පැවතියා. අප නැවත එම තත්ත්වයට පත්විය යුතුයි.

එහිදී අප කාෂිකර්ම නවීකරණය වෙනුවෙන් කැප වී සිටිනවා. ඒ වෙනුවෙන් අපි ප්‍රදේශීය ලේකම් කාර්යාල 26ක් තෝරාගෙන තිබෙනවා. ගොවිජන සේවා කාර්යාල කෘෂිකර්ම නවීකරණ කාර්යාල බවට පත් කරනවා. කෘෂිකර්ම අංශ සියල්ල එක් ඇමතිවරයෙක් යටතට ගෙන ඒමට අප කටයුතු කළා. ඒ වගේම වී වගාවේදී අස්වැන්න වැඩිකර ගැනීමට අප සැලසුම් කර තිබෙනවා. නව බෝග වගාව මෙන්ම කුරුඳු වගාව අප දැන් ආරම්භ කර තිබෙනවා.

කෘෂි නවීකරණ වැඩසටහන ඉදිරියේදී සෑම ප්‍රදේශයකම ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ලංකාවේ තිබෙන ප්‍රාදේශී ලේකම් කොට්ඨාස 341 න් අපි විදේශ විනිමය ලබා ගන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කීයකින්ද, ඒ නිසා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම නවීන කෘෂි ආර්ථිකයක් ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන එක් කර වෘත්තීය විද්‍යාල ඇති කර වෘත්තීය පුහුණුව විධිමත් කිරීමට ද අප පියවර ගන්නවා.

මූලික වශයෙන් සංචාරක ව්‍යාපාරය සහ කෘෂි සංවර්ධන වැඩසටහන් ඉදිරියට ගෙන යාමට අප කටයුතු කරනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනින් පසු විදේශ ආයෝජන ලබා ගනිමින් නව ආයෝජන කලාප ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ත්‍රිකුණාලය, හම්බන්තොට, ඉංගිරිය, නුවර, යාපනය වැනි ප්‍රදේශ කිහිපයක් හඳුනාගෙන ඇති අතර දකුණු පළාතේ සහ නැගෙනහිර මෙන්ම කඳුකරයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් පියවර ගෙන තිබෙනවා.

ඒ වගේම ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් වෙත යාම අපේ අරමුණයි. මෙම සියලු කටයුතු සමඟ අපට අලුත් ආර්ථිකයක් ගොඩනැඟීමට හැකියාව ලැබෙනවා.

ඒ වගේම කාන්තාවන් වෙනුවෙන් අප නව නීති ගෙනවිත් තිබෙනවා. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සහ කාන්තාවන් ශ්‍රම බලකායට එක් කර ගැනීම ඉහළ නැංවීම වෙනුවෙන් ද අප වැඩකටයුතු කරගෙන යනවා.

පසුගිය වසර දෙක තුළ ගෙන ගිය අසීරු වැඩපිළිවෙළේදී ඔබ සියලුදෙනා ලබාදුන් සහායට මගේ ස්තූතිය පිරිනැමීමට ද මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ වගේම අප සියලුදෙනා එක්ව ජනතාව වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යමු යැයි මම සියලුදෙනාට ආරාධනා කරනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,

මෙම ස්ථානයේ සිටින්නේ අත්දැකීම් තිබෙන රාජ්‍ය නිලධාරීන් පිරිසක්.ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ තීරණ, සැලසුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින කණ්ඩායමක් බව ද කිව යුතුයි. ජනාධිපතිතුමාගේ නිවැරදි නායකත්වය තුළින් අද රට ඉදිරියට පැමිණ තිබෙනවා. රට තුළ ස්ථාවරත්වයක් ඇතිව තිබීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් ලෙස ඔබටත් ආඩම්බර විය හැකියි.

අද රටට විශාල වශයෙන් විදේශීය සංචාරකයන් පැමිණෙමින් සිටිනවා. රට කෙරෙහි විශ්වාසයක් ඔවුන්ට ද ඇතිව තිබෙනවා. ගමේ ප්‍රශ්න විසඳන්න ඔබ සැමගේ සහාය අවශ්‍යයි. අවිහිංසාවාදීව රාජ්‍ය පාලනය ගෙන යෑමේ වගකීම ද ඔබට පැවරී තිබෙනවා.

එදා 71 කැරැල්ලේදී ප්‍රාදේශීය ලේකම්වරුන්ට පලා යෑමට සිදුවුණා. ඔබ මුහුණ දෙන ප්‍රශ්න ද පියවරෙන් පියවර විසඳීමට රජයක් විදිහට කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඔබලාට විශාල බලයක් පැවරී තිබෙනවා. රජයේ ප්‍රතිපත්ති අවංකවම ක්‍රියාත්මක කිරීමේ ශක්තිය සහ අධිෂ්ඨානය ඇති කරගෙන රටේ සංවර්ධනයට දායක වෙන ලෙස මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා,

රටේ සියලු රාජ්‍ය නිලධාරීන් එකට හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව සලසාදීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තුතිවන්ත වෙනවා. මෙවැනි හමුවක් මීට පෙර පවත්වා නැහැ. පසුගිය කාලයේ රට විවිධ අභියෝගයන්ට මුහුණ දුන්නා. එම අභියෝග ජය ගැනීම වෙනුවෙන් රජය ගෙන යන සංවර්ධන ක්‍රියාදාමයට ඔබ සැමගේ සහාය අපේක්ෂා කරනවා.

අප එදා සිටි තත්ත්වය අමතක කළ යුතු නැහැ. පසුගිය අර්බුද සමයේ රටේ ජනතාවගේ දෛනික අවශ්‍යතා සපුරාලිමේ වැඩපිළිවෙළේදී දිවා රෑ නොබලා ඔබ විශාල සේවයක් සිදු කළා. ඒ වගේම අස්වැසුම වැඩසටහන සාර්ථකව අවසන් කර ගැනීමට ඔබ සියලු දෙනාගේ සහාය අවශ්‍යයි. ජනාධිපතිතුමා පසුගිය අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කළා. ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීමට උරුමය වැඩසටහන ආරම්භ කළා.

දිවයිනේ සියලුම ජන කොටස්වලට සමාන ලෙස වරප්‍රසාද බෙදී යා යුතුයි. සම්මාන, ගෞරව ලබා ගන්න නම් රාජ්‍ය සේවය අවංකව ක්‍රියාත්මක කළ යුතු වෙනවා. පසුගිය ආණ්ඩුවට එරෙහි පැවති අරගලයේදී ජනාධිපතිතුමාගේ පමණක් නොව මැති ඇමැතිවරුන්ගේ නිවාස පවා ගිනි තැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඝාතනය කළා. එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිතුමා මේ රට භාරගෙන අරගලකරුවන්ගෙන් පාර්ලිමේන්තුව බේරා නොගත්තා නම් ඊට පසුව ගිනි තබන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ නිවෙස් බව පැවසිය යුතුයි.

මෙහිදී මතු කෙරුණු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීම සිදු විය.

ප්‍රශ්නය,
අස්වැසුම ලබා ගැනීමට සුදුසු නමුත්, පළමු අදියරේ ලියාපදිංචිව සිටීම නිසා දෙවැනි අදියර වෙනුවෙන් අයැදුම් කිරීමට නොහැකි වූ පිරිසක් සිටිනවා. ඔවුන් සම්බන්ධව ගනු ලබන පියවර කුමක්ද?

පිළිතුර,

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා,
පළමු අදියරේ ඉල්ලුම් කිරීමට අවස්ථාවක් නොලැබුණු අයට තමයි දෙවැනි අවස්ථාව ලබා දුන්නේ. කලින් දත්ත පද්ධතියට ඇතුළත් වූ අයට තවත් අවස්ථාවක් ලබා දෙනවා. කලින් ලබා දුන් දත්ත සංශෝධනය කිරීමට ද එහිදී අවස්ථාව ලබා දී තිබෙනවා. එය පළමු අදියරේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමෙන් අනතුරුව සිදු කරනු ලබන්නක්. ඔවුන්ට කිසිම අවස්ථාවක ගැටලුවක් වෙන්නේ නැහැ.

රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා,

සභාපතිතුමා මේ කාරණයට නිසි ප්‍රචාරණයක් ලබාදිය යුතුයි. මේක බිම් මට්ටමේ තිබෙන ප්‍රශ්නයක්. ඔබ සඳහන් කරන ආකාරයට අවස්ථා දෙකක් තිබෙන බව නොදන්නා පිරිස් සිටිනවා. කුමන හේතුවක් මත හෝ ප්‍රතික්ෂේප වූ අයැදුම්කරුවන්ට නැවත අයැදුම් කිරීමට නොහැකියි කියන පණිවුඩය තමයි සමාජයට ගිහින් තිබෙන්නෙ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

මීට හොඳම විසඳුම විදිහට සිංහල සහ දෙමළ භාෂාවෙන් පෝස්ටර් මුද්‍රණය කර ප්‍රදර්ශනය කරන්න. එවිට සෑම අයකුටම මේ සම්බන්ධයෙන් දැනුවත් විය හැකියි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ආශු මාරසිංහ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (කෘෂිකර්ම ඵලදායිතා හා ඉඩම්) චන්ද්‍රා හේරත්, ජනාධිපති අතිරේක ලේකම් (ආහාර සුරක්ෂිතතා හා යටිතල පහසුකම් සංවර්ධන) වර්ණන් පෙරේරා, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, ප ළාත් සභා, පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන, කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ. ධර්මකීර්ති, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් එච්. එම්. බී. පී. හේරත්, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල, ඉඩම් කොමසාරිස් ජනරාල්, බන්දුල ජයසිංහ, මිනුම්පති ඩබ්ලිව්. සුදත් පෙරේරා, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්. එල්. ඩී. සී. එම්. අබේගුණවර්ධන, සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න, යන මහත්ම මහත්මීන් ද දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.