Published on: ජනවාරි 20, 2024

සංචාරක ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් “Pekoe trail” ව්‍යාපෘතිය   සාර්ථක කර ගැනීමට සාමූහිකත්වයෙන් කටයුතු කිරීම වැදගත් 

  • පවතින ගැටළු සාකච්ඡා කර කඩිනම් විසඳුම් ලබා ගන්න – ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා  ක්‍රියාත්මක කිරීමට යෝජිත “Pekoe trail” ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ ( 19) පැවැත්විණ.

“Pekoe trail” ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 300ක පමණ සංචාරක මංපෙතක් ඇති කිරීමට බලාපොරොත්තු වන අතර මෙම ව්‍යාපෘතියට ගෝලීය වශයෙන් ඉමහත්  ප්‍රසිද්ධියක් ලැබී ඇති බවත්, එය ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ දියුණුවට විශාල පිටිවහලක් වනු ඇති බවත් මෙම අවස්ථාවට එක් වූ  Pekoe trail කණ්ඩායම පැහැදිළි කළේය.

එමෙන්ම මෙතෙක් ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස නොසළකන සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට මෙම ව්‍යාපෘතිය උපකාරී වනු ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ.

මෙහිදී අදහස් දක්වමින්  සාගල රත්නායක මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවට ඉතා වැදගත් ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ අවධානයක් යොමුව ඇති බවයි.

එබැවින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති නීතිමය හා අනෙකුත් ගැටළු පිළිබඳ අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර විසඳුම් ලබා ගත යුතු බවත්  මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට සාමූහිකත්වයෙන් කටයුතු කිරීම වැදගත් බවත් සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ ප්‍රාදේශීය වතු සමාගම් සහ අනෙකුත් රේඛීය ආයතනවල නියෝජිතයින් සමඟ සාකච්ඡා කර කඩිනම් විසඳුම් ලබා ගැනීමට කටයුතු කරන ලෙසද සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

රාජ්‍ය වැවිලි, ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. එස්. එස්. බී යාලේගම මහතා, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරින් , ප්‍රාදේශීය වතු සමාගම්වල නියෝජිතයින්, Pekoe trail කණ්ඩායමේ සාමාජිකයින් ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.