Published on: ජූනි 6, 2025

සංචාරක කර්මාන්තය ආශ්‍රිත සියලු අංශ ඒකාබද්ධ කර ජනාධිපති කාර්‍යාලය මූලික කර ගත් ඒකකයක් පිහිටුවීමට කටයුතු කරනවා

– ජනපති

අවාර සමයේදීද සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර ජනාධිපති කාර්යාලයේදී අද (06) පස්වරුවේ පැවැත්විණි.

අවාර සමය තුළ (Offseason) ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම, ඩිජිටල් අළෙවිකරණ ක්‍රමවේද භාවිතයෙන් ශ්‍රී ලංකා සංචාරක සන්නාමය ඉහළට ඔසවා තැබීම, සංචාරක කර්මාන්තයට අවශ්‍ය කුසලතා හා පුහුණුව ඇති කිරිමෙන් එම ක්ෂේත්‍රයේ මානව සම්පත වැඩිදියුණු කිරීම හා සංචාරක කර්මාන්තයට විදෙස් ආයෝජන ආකර්ෂණය කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

සංචාරක ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ අතර, එම කර්මාන්තය දියුණු කිරීම සඳහා දැනට සංචාරක ප්‍රවර්ධන කාර්‍යාංශය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමද සිදු කරන ලදී.

සංචාරක කර්මාන්තය ආශ්‍රිත සියලු අංශ ඒකාබද්ධ කරමින් ජනාධිපති කාර්‍යාලය මූලික කර ගත් ඒකකයක් පිහිටුවීමට අපේක්ෂා කරන බව එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

රජයේ Clean Sri Lanka වැඩසටහන සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ ඇගයීමට ලක් වූ අතර, එය සංචාරක ප්‍රවර්ධනය සඳහා ඒකාබද්ධ කර ගැනීම පිළිබඳවද සාකච්ඡාවට ලක් කෙරිණි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකරුවන්ගේ සංගමයේ සභාපති නලින් ජයසුන්දර යන මහත්වරුද, සංචාරක හෝටල් හිමිකරුවන් ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෝ හා ආයෝජකයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.