• සංචාරක කර්මාන්තය යථාතත්ත්වයට පත් කිරීමට පියවර
සංචාරක කර්මාන්තය දිරිගැන්වීමේ අරමුණින් සංචාරකයෙකුට මෙරටට පැමිණි දින සිට දින 270ක වලංගු සංචාරක වීසා ලබාදීමේ කාලය වසරක් දක්වා දිර්ඝ කිරීමටත්, විසා සඳහා ගාස්තු අය කරන ක්‍රමවේදය සරල කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව විද්‍යුත් සංචරණ අනුමැතිය (ETA) යටතේ පැමිණෙන සංචාරකයන්ට දින 180ක් සඳහා එකවර වීසා නිකුත් කිරීමට එක්සත් ජනපද ඩොලර් 35ක මුදලක්ද, බහුවාර පිවිසුම් සහිතව වසරක කාලයක් සඳහා වීසා බලාපොරොත්තු වන සංචාරයකන් සඳහා එක්සත් ජනපද ඩොලර් 200ක මුදලක් ද අය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
1948 අංක 20 දරන ආගමික හා විගාමික පනතේ සංශෝධිත රෙගුලාසි 15 ප්‍රකාරව මෙරටට පැමිණෙන සංචාරකයෙකුට මෙරටට පැමිණි දින සිට දින දෙසිය හැත්තෑවක (270) වලංගු සංචාරක වීසාවක් මත රැඳී සිටිය හැකි අතර, එම කාල සීමා තනි පිවිසුමකට (Single entry) සීමා වී තිබිණි. නව කැබිනට් අනුමැතිය මඟින් එම කාලසීමාව වසරක් දක්වා දිගු කර ඇති අතර, එය බහුවාර පිවිසුම් ලෙස පහසු කර තිබේ.
මීට අදාළ කැබිනට් පත්‍රිකාව ජනාධිපති හා ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඇමැති මණ්ඩලයට යොමු කර ඇති අතර, ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ආගමන, විගමන දෙපාර්තමේන්තුවේ දැනට ක්‍රියාත්මක වන වීසා ගාස්තු ක්‍රමවේදය යටතේ සංචාරකයෙක් ශ්‍රී ලංකාවට පැමිණ දින 180ක (මාස 06) කාලයක් මෙරට ගත කිරීමේදී පළමු දින 30 සඳහා විද්‍යුත් සංචරණ අනුමැතිය (ETA) එක්සත් ජනපද ඩොලර් 35ක් ද, ඊළඟ දින 60 සඳහා වීසා ගාස්තුව ලෙස එක්සත් ජනපද ඩොලර් 60ක් ද, අවසාන දින 90 සඳහා එක්සත් ජනපද ඩොලර් 150ක් ද ලෙස වීසා ගාස්තුව අය කිරීම සිදු කෙරිණි.
නව කැබිනට් අනුමැතිය අනුව විසා ගාස්තු අඩු කිරීම මඟින් දින 180ක කාලයක් සඳහා අය කළ යුතු මුළු වීසා ගාස්තුව වන එක්සත් ජනපද ඩොලර් 245ක මුදල වෙනුවට එක්සත් ජනපද ඩොලර් 35ක මුදලක් එක් සංචාරකයෙකුගෙන් අය කරනු ලබයි.
මෙහිදී එක් සංචාරකයෙකුගෙන් එක්සත් ජනපද ඩොලර් 210ක මුදලක් අලාභ වුවද දින 180ක් එම සංචාරකයා රට තුළ ගත කිරීම මඟින් ආහාර පාන, ප්‍රවාහන හා නවාතැන්වලට වියදම් කරන මුදලින් ඊට වඩා වැඩි ආදායමක් උපයා ගත හැකි බවට රජය විශ්වාසය පළ කරයි.
වසරක කාලයක් සඳහා බහුවාර පිවිසුම් සහිතව වීසා අවසර පත්‍රය, ව්‍යාපාරික බලපත්‍රය මීට පෙර එක්සත් ජනපද ඩොලර් 685ක් අය කළ අතර එය එක්සත් ජනපද ඩොලර් 200 දක්වා අඩු කිරීමට මෙ ලෙස ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. “කෝවිඩ් 19” ගෝලීය වසංගතය නිසා පහත වැටී තිබෙන සංචාරක කර්මාන්තයට දිරිදීම නව වීසා ගාස්තු අයකිරීමේ වැඩපිළිවෙළ මඟින් අපේක්ෂා කෙරේ.
මෙහිදී එක්සත් ජනපද ඩොලර් 485ක අලාභයක් සිදු වුවද එම සංචාරකයා විසින් වසරක් රට තුළ ගත කිරීම මඟින් ආහාර පාන, ප්‍රවාහන හා නවාතැන්වලට වියදම් කරන මුදලින් ඊට වඩා වැඩි ආදායමක් උපයා ගත හැකි බව රජය විශ්වාසය පළ කරයි.
එමෙන්ම සහාධිපත්‍ය දේපලවල ආයෝජනය කිරීම සඳහා විදේශිකයන්ට අවස්ථාව සලසමින් තනි විදෙස් පුද්ගලයෙකුට එක්සත් ජනපද ඩොලර් දෙලක්ෂ පනස්දහසක් (250,000) ආයෝජනය කරන්නෙකුට වසර දහයක වීසා ප්‍රදානයක් ද, තනි විදෙස් පුද්ගලයෙක් එක්සත් ජනපද ඩොලර් එක්ලක්ෂ පනස් දහසක් (150,000) ආයෝජනය කරන්නේ නම් වසර 05ක වීසා ප්‍රදානයක් ද කොළඹින් බැහැර සහාධිපත්‍ය දේපළ ආයෝජනය කරන්නෙකුට එක්සත් ජනපද ඩොලර් හැත්තෑ පන්දහසක් (75,000) වෙනුවෙන් වසර 05ක් සහ දීර්ඝ කළ හැකි වීසා ප්‍රදානයක් ලබාදීමට ද යෝජිතය.
තවද “රන්පාරාදීසය” යටතේ එක්සත් ජනපද ඩොලර් ලක්ෂයක් රැගෙන විත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගත් යම් වාණිජ බැංකුවක තැන්පත් කරනු ලබන විදේශිකයෙකුට වසර 10ක් සඳහා “රන්පාරාදීස වාස වීසාව” ප්‍රදානය කිරීමට කටයුතු කෙරේ.
මෙම කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීමේ බලධාරී ආයතන ලෙස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය, ආගමන හා විගමන පාලක ජෙනරාල් ද නම් කර ඇත.
දැනට අඩපණ වී ඇති සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම මෙම ක්‍රියාවලියේ මූලික අරමුණ වී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-18
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.