Published on: මාර්තු 20, 2024

ෂෙනුක් විජේසිංහ ගේ ‘My Tribute’ ප්‍රසංගය නැරඹීමට ජනපති එක් වෙයි

ෂෙනුක් විජේසිංහ මහතා විසින්  සෞන්දරී ඩේවිඩ් රොඩ්‍රිගෝ සහ නෙරංජන් ද සිල්වා යන මහත්ම මහත්මීන් සමඟ එක්ව ඉදිරිපත් කළ ‘My Tribute’ ප්‍රසංගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඊයේ (19)  පස්වරුවේ  එක් වූහ.

කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී පැවැත්වුණ ‘My Tribute’ ප්‍රසංගය සඳහා ක්‍රිස්ටෝ ප්‍රින්ස් මහතා ඩ්‍රම්ස් වාදනයෙන් ද ,නදිනි ඔලෙගසෙග්‍රෙම් මහත්මිය සහ හේමාල් කුරුවිටාරච්චි මහතා ආරාධිත ශිල්පීන් ලෙසද සහභාගි වූ අතර සෝල් සවුන්ඩ්ස් ඇකඩමියෙහි ගායනා කණ්ඩායමේ සහාය ගායනයෙන් මෙම ප්‍රසංගය රසවත් විය.

ෂෙනුක් විජේසිංහ මහතා වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන් සිය මූලික අධ්‍යාපනය ලබා ඇති අතර ලන්ඩනයේ ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරියෙකු ද වේ. කුඩා අවදියේදීම පියානෝ වාදන පුහුණුව ආරම්භ කළ ඔහු වයස අවුරුදු 5දී ගායන පුහුණුව ආරම්භ කර ඇති අතර සෞන්දරී ඩේවිඩ් රොද්‍රිගෝ මහත්මිය සහ චි හෝ මැක් මහතා යටතේ  ලන්ඩනයේ ගායනය පිළිබඳ රාජකීය පාසලෙන් අධ්‍යාපනය හදාරා ඇත.

ෂෙනුක් විජේසිංහ මහතා ගායනය, වාදනය සහ රංගනය යන ක්ෂේත්‍රයන්හි විවිධ දස්කම් දක්වා ඇති අතර දේශිය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඇගයීම් රැසකට පාත්‍ර වී ඇත.

දෙස් විදෙස් රසිකයින් රැසක් මෙම ප්‍රසංගය නැරඹීමට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.