අග්නිදිග ආසියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීමේ වේදිකාවක් ලෙස වියට්නාමය ක්‍රියා කිරීමට සූදානම් බවත්, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් තමන් සෑමවිටම මූලිකත්වය ගන්නා බවත් වියට්නාම ජනාධිපති වෝ වාන් තුවොං (Vo Van Thuong) මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වියට්නාම ජනාධිපති වෝ වාන් තුවොං (Vo Van Thuong) මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා 03 වන “එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුවට සමගාමීව අද (18) පස්වරුවේ බීජිං නුවරදී පැවැත්වුණු අතර එහිදී වියට්නාම ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.
දෙරටට බලපාන වැදගත් කරුණු ගණනාවක් පිළිබඳ මෙහිදී නායක දෙපළ සාකච්ඡා කළහ.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දෙරටේ විදේශ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් කාර්ය සැලසුමක් සැකසීමට ද තීරණය කෙරිණි.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ අනාගත අපේක්ෂා සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙහිදී කරුණු පැහැදිළි කළේය.
වැටී තිබූ වියට්නාම ආර්ථිකය යළි ගොඩනැඟීම සඳහා වියට්නාමය අනුගමනය කළ පිළිවෙත පිළිබඳවද එහිදී මුහුණ දීමට සිදු වූ අභියෝග පිළිබඳවද වියට්නාම ජනාධිපතිවරයා කරුණු පෙන්වා දුන්නේය.
දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා තහවුරු කර ගැනීම මෙන්ම ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද මෙහිදී නායක දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
එකට එක්ව ඉදිරියට යාමේ නව මාර්ග සොයා ගැනීමේ නැවුම් ප්‍රවේශයක් ලෙස මෙම සාකච්ඡාව සැලකිය යුතු බව ද මෙහිදී අවධාරණය කෙරිණි.
විදේශ අමාත්‍ය අලි සබ්‍රි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරු ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.