Published on: සැප්තැම්බර් 17, 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මහරගම අපේක්ෂා රෝහලට ඩොලර් ලක්ෂ 05ක පරිත්‍යාගයක්

මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් ලක්ෂ පහක චෙක් පතක් ( රුපියල් මිලියන 180කට ආසන්න මුදලක්) ඊයෙ (16) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබිණ.

ආසියානු ක්‍රිකට් ශූරයින්, ආසියානු දැල් පන්දු ශූරයින් හා පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන් අගයමින් ඊයේ (16) කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයේදී මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.

ඖෂධ හිඟය හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව පසුගිය කාල සීමාව තුළ දිගින් දිගටම මාධ්‍ය මගින් වාර්තා කළේය.

ඒ පිළිබඳව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා දැනුවත් කරන ලද අතර, අදාළ ගැටලුව පිළිබඳ වහාම සොයා බලා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස මෙහිදී උපදෙස් ලැබිණි.

ඒ අනුව මහරගම අපේක්ෂා රෝහල සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවන්ට අනුව ඖෂධ හිඟයට ප්‍රධාන ගැටළුව මුදල් නොමැතිකම බව හඳුනා ගන්නා ලදී.

මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි පෙරේරා මහතා සමඟ සාකච්ඡා කර මෙම මුදල් පරිත්‍යාගයට අදාළ සම්බන්ධිකරණ කටයුතු සිදු කළේය. ජනාධිපති මාධ්‍ය ඒකකයේ උත්සාහයට කඩිනමින් ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනාධිපති කාර්යාලය හරහා ඊට සහාය දීමට ඉදිරිපත් විය. පොරොන්දු වූ පරිදි ආසියානු කුසලානයෙන් පසු එම පරිත්‍යාගය සිදු කිරීමට ඔවුන් කටයුතු කළේය.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.