Published on: අගෝස්තු 4, 2023

ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනම් කෙරේ

  • ඉන්දීය රුපියල් මිලියන 450ක අත්කාරම් මුදලක්.

මෙරට ඩිජිටල්කරණයේ මූලික අඩිතාලම ලෙස ක්‍රියාත්මක ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (Sri Lanka Unique Digital Identity (SL-UDI) කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඒ සඳහා පත්කර ඇති ඉන්දු – ශ්‍රී ලංකා ව්‍යාපෘති අධීක්ෂණ කමිටුව තීරණය කරයි.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් එම්. එල්ඩෝස් මැතිව්, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය එම්.ඩී. ගුණවර්ධන, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම අධීක්ෂණ කමිටුව අද (04) ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ දී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ටෙන්ඩර් මේ වන විට ලැබී ඇති බවත්, නිසි කාලරාමුවකට අනුව එය සමාලෝචනය කෙරෙමින් පවතින බවත් මෙහිදී සඳහන් කෙරිණි.

ඒ අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අත්තිකාරම් ගාස්තු ලෙස ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ගත මුළු මුදලින් 15%ක් එනම් ඉන්දීය රුපියල් මිලියන 450ක වටිනාකමකින් යුත් චෙක් පතක් මෙහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වෙත භාර දෙනු ලැබීය.

නිසි කාල රාමුවක් අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලෙසත්, සතියකට වරක් රැස්වී එහි ප්‍රගතිය සමාලෝචනය කරන ලෙසත් සාගල රත්නායක මහතා විසින් මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගය මත ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියේ දී ඉතා වැදගත් බව පැවසු සාගල රත්නායක මහතා ඒ වෙනුවෙන් ඉන්දීය රජය ලබා දෙන සහාය පිළිබඳ ස්තූතිය පළ කළේය.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.