Published on: ජනවාරි 4, 2023

ශ්‍රී ලංකාව දියර කිරි සහ කිරි නිෂ්පාදනවලින් ස්වයංපෝෂිත කිරීමට ඉන්දියාවේ සහාය

ශ්‍රී ලංකාව දියර කිරි සහ කිරි නිෂ්පාදනවලින් ස්වයංපෝෂිත කිරීම සඳහා ඉන්දියානු රජයේ සහාය ලබාදීමට එකඟතාව පළ කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඇතුළු නියෝජිත පිරිස අතර අද (04) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.

ඒ අනුව ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලය (NDDB) හා අමුල් ( Amul) කිරි සමාගම එක්ව ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනයට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට නියමිතය.

ආනයනික කිරි පිටි මත යැපීම වළක්වා දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය කෙටි, මධ්‍ය සහ දිගුකාලීන සැලැස්මක් සකස් කිරීම සඳහා ඉන්දියාවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ බහුවිධ කණ්ඩායම සමඟ කටයුතු කිරීමට මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා පත් කරනු ලැබිණි.

එම කමිටුවේ සාමාජිකයින් සහ ඉන්දියානු ජාතික කිරි සංවර්ධන මණ්ඩලයේ (NDDB) නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටී අතර අදාළ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලිණි.

ඉන්දීය ආර්ථික හා වාණිජ කටයුතු පිළිබඳ පළමු ලේකම් ආචාර්ය රාකේෂ් පාන්ඩේ මහතා සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.