Published on: මාර්තු 5, 2024

ශ්‍රී ලංකාවේ “සත්‍ය, සමගිය සහ සංහිඳියාව සඳහා වන කොමිෂන් සභා පනත” (CTUR) පිළිබඳ තවත් විශේෂ සංවාද සභා දෙකක්

ශ්‍රී ලංකාව තුළ ජාතික සංහිඳියාව, සමගිය සහ සමාජ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් යෝජිත “සත්‍යය, සමගිය සහ සංහිඳියාව සඳහා වූ කොමිෂන් සභා පනත” කෙටුම්පත් කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ තවත් විශේෂ සංවාද සභා දෙකක් පසුගියදා කොළඹදී පැවැත්විණි.

ඉන් එක් සංවාද සභාවක් හිමාලයානු කණ්ඩායමේ නියෝජිතයින් සහ සිවිල් සමාජ සංවිධාන කිහිපයක නියෝජිතයින් මෙන්ම මේ පිළිබඳ විශේෂඥ දැනුම ඇති පාර්ශව කිහිපයක සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර අනෙක් සංවාද සභාව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මාධ්‍යවේදීන් සහ තවත් සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

මෙහිදී රට තුළ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) සිදු කරමින් පවතින වැඩසටහන් පිළිබඳ මෙන්ම මෙම ස්වාධීන කොමිෂන් සභාව පිහිටුවීම සඳහා යෝජිත පනත් කෙටුම්පත පිළිබඳව ද ප්‍රධාන වශයෙන් අවධානය යොමු විය. මෙම සංවාද සභා සඳහා එක්වූ පිරිස් ඊට සක්‍රීයව සිය දායකත්වය ලබා දෙමින් යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන ලදී.

1983 වසරේ සිට 2009 වසර දක්වා කාලය තුළ උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇති වූ ගැටුම් අතරතුර දී සිදුවූ බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සත්‍ය සොයා ගැනීම සඳහා පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කෙරෙන ස්වාධීන ආයතනයක් ලෙස මෙම යෝජිත සත්‍යය, එකමුතුකම සහ සංහිඳියාව සඳහා වූ කොමිෂන් සභාව පිහිටුවීමට සැලසුම් කර ඇත. යෝජිත මෙම කොමිෂන් සභාව, අගතියටපත් පිරිසගෙන් විධිමත් ලෙස තොරුතුරු එක්රැස් කිරීම, ප්‍රචණ්ඩත්වයන් සිදුවූ අවස්ථා වාර්තා කිරීම සහ අතීතයේ සිදුවූ සිදුවීම් පිළිබඳ විමර්ශනය කර අනාගතයේ එවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා නිර්දේශ සකස් කිරීම මඟින් පශ්චාත් ගැටුම් සමයේ ශ්‍රී ලංකාව තුළ ජාතික සංහිඳියාව ගොඩනැංවීමේ ක්‍රියාවලිය සඳහා අපක්ෂපාතී ආයතනයක් ලෙස යොදාගැනීම මෙහි අරමුණයි.

1983 වසරේ සිට 2009 වසර දක්වා කාලය තුළ මෙන්ම ඉන් පසුව සිදු වී ඇති බව පැවසෙන මෙම මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ද විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සලසමින් මෙම කොමිෂන් සභා පනත් කෙටුම්පත සකස් කිරීමට නියමිත ය. යෝජිත පනත කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමු කිරීමට අමතරව ගැටුම් ඇතිවූ ප්‍රදේශවල ක්ෂේත්‍ර චාරිකා සිදු කිරීම සහ උපදේශන සේවා ලබාදීම හා අදහස් ලබාගැනීම ඇතුළු මීට අදාළ පාර්ශවකරුවන් සම්බන්ධ කර ගැනීමේ විවිධ උපාය මාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

2016 -2018 කාලසීමාවේදී ක්‍රියාත්මක වූ උපදේශන කාර්ය සාධක බලකාය විසින් මෙම කෙටුම්පත පිළිබඳ සිදු කරන ලද පුළුල් උපදේශන කටයුතු පිළිබඳ මෙන්ම පසුගිය කාල සීමාව තුළ සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලය විසින් පාර්ශ්වකරුවන් සමඟ සිදු කරන ලද සහ සිදුවෙමින් පවතින උපදේශන හා අදහස් විමසීමේ කටයුතු පිළිබඳව ද එම අන්තර්වාර ලේකම් කාර්යාලය විසින් මෙම සාකච්ඡාවන්හිදී පැමිණ සිටි පිරිස් වෙත පුළුල් පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. එමෙන්ම ඵලදායි ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් සහ සාධාරණත්වය සහතික කිරීම සඳහා රජය තුළ සම්බන්ධීකරණ යාන්ත්‍රණයක අවශ්‍යතාවය මෙම සාකච්ඡාවලදී හඳුනාගැනිණි.

මහජන මතය හැඩගැස්වීම සහ වාර්ගික ආතතීන් උත්සන්න කිරීම සඳහා මාධ්‍ය සතුව පවතින හැකියාව පිළිබඳ මෙන්ම ජාතික සංහිඳියාව ඇති කිරිම සම්බන්ධයෙන් මාධ්‍යයේ කාර්යභාරය පිළිබඳව ද මෙම සාකච්ඡාවන්හිදි අවධානයට ලක් කෙරිණ. ඒහිදී වගකීමෙන් යුතු සහ මධ්‍යස්ථ මාධ්‍ය වාර්තාකරණයක් වෙනුවෙන් කටයුතු කරන ලෙස මාධ්‍ය ආයතන වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට ද යෝජනා විය.

කොමිෂන් සභාවල සංයුතිය, විවිධ විශේෂඥයින්ගේ දැනුම ලබාගැනීම සහ සංහිඳියා ප්‍රයත්නයන් සඳහා මහජන සහයෝගය ලබා ගැනීම වෙනුවෙන් සිවිල් සමාජය හා ආගමික නායකයින් සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

කොමිසමේ අධිකරණ බලය, කොමසාරිස්වරුන් පත් කිරීමේ ක්‍රියාවලිය සහ උපදේශක මණ්ඩලයේ සහ අධීක්ෂණ කමිටුවේ කාර්යභාරයන් පිළිබඳවද මෙහිදී සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලය විසින් පැමිණ සිටි නියෝජිතයින් වෙත පැහැදිලි කරන ලදී.

සත්‍ය ප්‍රකාශ කිරීම ප්‍රවර්ධනය කිරීම, වින්දිතයින්ගේ ගෞරවය නැවත ලබාදීම මෙන්ම අනාගතයේ මෙවැනි ගැටුම් නැවත ඇතිවීම වැළැක්වීම අරමුණු කරගනිමින්, මේ සඳහා පාර්ශවකරුවන් සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම, පැමිණ සිටි නියෝජිතයින් අවධාරණය කළ අතර යෝජිත කෙටුම්පත සඳහා තවදුරටත් සාධනීය අදහස් සහ යෝජනා ලබා දෙන ලෙස අන්තර්වාර ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම මෙම උපදේශන හා සාකච්ඡාවලින් ලබාගන්නා ලද අදහස් සහ යෝජනා ප්‍රමාණයක් දැනටමත් පනත් කෙටුම්පත සඳහා ඇතුළත් කර ඇති බවත්, පුළුල් උපදේශන ක්‍රියාවලියකින් අනතුරුව මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සඳහන් කෙරිණි.

පූජ්‍ය කළුපහන පියරතන ස්වාමින්වහන්සේ, ආචාර්ය ජෙහාන් පෙරේරා, ආචාර්ය ජෝ විලියම්, ආචාර්ය දයානි පනාගොඩ, විසාකා ධර්මදාස, වී. කමලදාස යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳ පුළුල් උනන්නදුවක් සහ සක්‍රීය සහභාගීත්වයක් දක්වන විශාල පිරිසක් මෙම සාකච්ඡා සඳහා සහභාගී විය.

සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයේ වෙනුවෙන් අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අසංග ගුණවංස සහ ප්‍රතිපත්ති ප්‍රධානී ආචාර්ය සී. වයි. තංගරාජා යන මහත්වරුන් මෙම සාකච්ඡා සඳහා සම්බන්ධ විය.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.