Published on: අප්‍රේල් 6, 2023

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහනේ ප්‍රගතිය ලෝක බැංකු නියෝජිතයන්ගේ ප්‍රසාදයට

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන්ගේ ප්‍රසාදය පළ කෙරේ.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහන පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡා මාලාවේ අවසන් අදියරේ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ලෝක බැංකු නියෝජිතයින් විසින් මේ බව සඳහන් කෙරිණි.

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම (Parliamentary budget office), රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම, සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ක්‍රම, සමාජ ලේඛන (Social registry) වැනි ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් පූර්ව ක්‍රියාමාර්ගයන් සම්පූර්ණ කිරීම සඳහා ගත යුතු ඉදිරි පියවර සහ එම එක් එක් ක්‍රියාමාර්ගවලට අදාළ කාල රාමු පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් සඳහා ලෝක බැංකුව ලබා දෙන දායකත්වය මෙහිදී පැසසුමට ලක් කළ සාගල රත්නායක මහතා මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ඉදිරියේ දී ද සියලුදෙනාගේ සහාය අපේකෂා කරන බව කියා සිටියේය.

ලෝක බැංකුවේ මෙරට කළමනාකරු චියෝ කන්දා මහත්මිය ඇතුළු ලෝක බැංකු නියෝජිතයින් ද, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.