Published on: ඔක්තෝබර් 4, 2022

ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනය නංවන්න සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාමයෙන් ආධාර

සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල පිහිටි පිරිවෙන් සඳහා ආධාර බෙදාදීම සංකේතාත්මකව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (04) සිදු කෙරිණි.

සිංගප්පූරුවේ සිටින පරිත්‍යාගශීලීන්ගේ අධාර උපකාර මත ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය අධ්‍යාපන උපකරණ මෙහිදී සංකේතාත්මකව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට භාරදීම සිදු විය.

ඉදිරි දින කිහිපය තුළ තෝරාගත් පිරිවෙන් සඳහා අධ්‍යාපන උපකරණ බෙදා හැරීමට නියමිතය.

සමන් ඒකනායක මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයාව කටයුතු කළ සමයේ සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානය මෙරට පිරිවෙන් සඳහා ආධාර උපකාර කිරීමට අවස්ථාවක් දෙන ලෙස කළ ඉල්ලීමකට අනුව අද දින එම අවස්ථාව උදා විය.

සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කරදෙටියාන ගුණරතන හිමියන්, පූජ්‍ය මහමෙව්නාවේ මංගල හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර සිංගප්පූරුවේ නියෝජිතයන් කිහිප දෙනෙක් සහ ජනාධිපති අතිරේක ලේකම් බුවනෙක හේරත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සුරේන් බටගොඩ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.