Published on: පෙබරවාරි 15, 2024

ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ජයිකා සභාපතිවරයාගේ ඇගයීමට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) සභාපති ආචාර්ය අකිහිකෝ මහතා අතර හමුවක් ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

නව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම දුෂ්කර ක්‍රියාවලියක් වුවද ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම මෙහිදී ආචාර්ය ටනකා අකිහිතෝ මහතාගේ ඇගයීමට ලක් විය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය, සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සහ මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක, දැනට අතරමඟ නැවතී ඇති ව්‍යාපෘති කඩිනමින් නැවත ආරම්භ කිරීමට තම අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ජපාන රජය සහ ජයිකා ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් අඛණ්ඩ සහය වෙනුවෙන් ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වූ පසු දැනට අත්හිටුවා ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජයිකා ආයතනය සූදානමින් සිටින බව ආචාර්ය අකිහිතෝ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.