Published on: සැප්තැම්බර් 7, 2022

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අමෙරිකාවේ සහාය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරිම සඳහා සහාය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් (Janet Yellen) මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය විසදීම සඳහා මූල්‍ය නීතිරීතිවලට අනුව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අමෙරිකානු මූල්‍ය ආයතනවල සහාය ලබාදීමට කටයුතු කරන බව ද භාණ්ඩාගාර ලේකම්වරිය දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සඳහා සම්බන්ධීකරණ වේදිකාවක් සඳහා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාව පිළිගන්නා එක්සත් ජනපද භාණ්ඩාගාරය මේ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.

එක්සත් ජනපදය සිය මූලධර්මවලට අනුකූලව මූල්‍ය සහතික කිරීම කඩිනම් කිරීම යන පොදු ඉලක්කය ශ්‍රී ලංකාව සමඟ බෙදා ගනිමින්, පැරිස් සමාජයේ අනෙකුත් සාමාජිකයන් හා සම්බන්ධවීමට සූදනම්ය. තවද එක්සත් ජනපද භාණ්ඩාගාරය ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කිරීම සඳහා ඔවුන්ගේ අනෙකුත් රාජ්‍ය ආයතන මෙන්ම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ අඛණ්ඩව සම්බන්ධ වීමට ප්‍රතිඥා දී ඇත.

පාසල් දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම, ගර්භනී කාන්තාවන් සහ නව මව්වරුන් සඳහා ආහාර වවුචර ලබාදීම, ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන් සඳහා පොහොර සහ මුදල් ලබාදෙමින් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ජනතාවට අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගය ලබා දී ඇති බවද භාණ්ඩාගාර ලේකම්වරිය තවදුරටත් දන්වා තිබේ.

විස්තීරණ අරමුදල් පහසුකමක් (EFF) හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයට එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සිය ප්‍රසාදය පළ කර සිටී.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.