Published on: දෙසැම්බර් 22, 2023

ශ්‍රී ලංකාවේ ඉන්දියානු නව මහකොමසාරිස්වරයා ජනපතිට අක්තපත්‍ර භාර දෙයි

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි ඉන්දියානු මහකොමසාරිස් සන්තොෂ් ජා (H E. Santosh Jha) මහතා අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්නේය.

සන්තොෂ් ජා මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස පත්වීමට ප්‍රථම 2020 ජූලි මාසයේ සිට 2023 දෙසැම්බර් මාසය දක්වා බ්‍රසල්ස්හි ඉන්දීය තානාපතිවරයා ලෙස සේවය කළේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මෙන්ම ඉන්දියාව සහ යුරෝපා සංගමය සමග නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කරගැනිම පිළිබඳ සාකච්ඡා කණ්ඩාම්වල සාමාජිකයෙකු ලෙස ද සන්තෝෂ් ජා මහතා කටයුතු කර ඇත.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ආර්ථික, සංස්කෘතික සහ සමාජයීය සබඳතා වඩා ශක්තිමත් කර ගැනීමට කැපවන බව ජනාධිපති කාර්යාලයේ තැන්පත් කර තිබූ සමරු සටහන් පොතේ සටහනක් තබමින් සන්තොෂ් ජා මහත් සඳහන් කර තිබේ.

ඉන්දු – ශ්‍රී ලංකා ඓතිහාසික මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙන්ම වෙළෙඳ, ආයෝජන, බලශක්තිය ඇතුළු ක්ෂේත්‍ර රැසක දෙරට අතර පවතින සමීප සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට කැපවන බව ඉන්දීය නව මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.
දෙරටේ නායකයන් එකඟ වූ “දැක්ම” අනුව කටයුතු කිරීම තම අපේක්ෂාව බව සඳහන් කළ ඉන්දීය නව මහකොමසාරිස්වරයා, මෙම සහයෝගීතාවය රටවල් දෙකෙහි අන්‍යෝන්‍ය සමෘද්ධිය, ප්‍රගතිය සහ කලාපීය ස්ථාවරත්වයට හේතු වනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍යවරයා මෙන්ම වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය රමේෂ් පතිරණ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.