Published on: නොවැම්බර් 3, 2023

ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහාය ලබාදෙන බවට දකුණු කොරියානු ජනපතිගෙන් නැවතත් ප්‍රතිඥාවක්

ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩ සහාය ලබාදෙන බවට දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙඕල් (Yoon Suk Yeol) මහතා නැවතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහතික වී තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව පසුගිය සැප්තැම්බර් 18 වනදා නිව්යෝර්ක් නුවරදී දෙරටේ රජ්‍ය නායකයන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර එම සාකච්ඡා ප්‍රශංසාත්මකව අගය කර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

දීර්ඝ කාලයක් පුරා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වීමට එම සාකච්ඡා ඉවහල් වන බව පෙන්වා දී ඇති දකුණු කොරියානු ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා වූ සියලු කරුණු පිළිබඳ තම විශේෂ අවධානය යොමුව ඇති බවද දැනුම් දී ඇත.

සමුළුව නිමවා සිය රටට පැමණි විගසම ඊට අදාළ ඉදිරි පියවර ගැනීමට නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ශ්‍රී ලංකාවට අදාළව මේ වන විට දකුණු කොරියාව ලබා දී ඇති රැකියා ඛාණ්ඩ ප්‍රමාණය ඉහළ නැංවීම, දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අදාළ ගිවිසුමකට කඩිනමින් දෙරට අතර අත්සන් තැබීම ඊට ඇතුළත් බවද දකුණු කොරියානු ජනාධිපතිවරයා සිය ලිපියේ සඳහන් කර තිබේ.

තවද, වෙළෙඳ සහ ආයෝජන ප්‍රවර්ධන රාමුව (TIPF) හරහා දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීමට ගත් තීරණය පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන බවද දැනුම් දී ඇත.

පුළුල් ක්ෂේත්‍රයක් තුළ දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට සිය කැපවීම නැවතත් තහවුරු කර ඇති දකුණු කොරියානු ජනාධිපතිවරයා ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නුදුරු අනාගතයේ දීම නැවත වරක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට අපේක්ෂා කරන බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.

කොරියානු ජනරජය ඉන්දු පැසිෆික් කලාපය තුළ සිය මැදිහත්වීම පුළුල් කරමින් සිටින අවස්ථාවක දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය ද දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ ප්‍රශංසාවට ලක්ව තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ අගය කර ඇති දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙඕල් මහතා එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ශක්තිය සහ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කර සිටියි.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.