Published on: ජනවාරි 9, 2024

ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ සිය වන ගුණ සමරුව ජනපති ප්‍රධානත්වයෙන්

  • ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාට දැක්විය හැකි ඉහළම ගෞරවය එතුමා ඇති කළ ලාංකීය සංකල්පය ඉදිරියට ගෙන යාමයි – ජනපති අවධාරණය කරයි.

නිදහස් ජාතියක් ගොඩනැඟීම උදෙසා ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතා ගෙන ගිය “ලාංකීය” සංකල්පය “ලාංකීය අනන්‍යතාව” දක්වා දියුණු කිරීමට තමන් කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම වෙනුවෙන්, අවතැන්වූවන් නැවත පදිංචි කිරීම ඇතුළු යුද්ධයට අදාළ සියලු ප්‍රශ්නවලට 2025 වසර වන විට විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ සියවන ගුණ සමරු උත්සවයට අද (09) පෙරවරුවේ එක් වෙමිනි.

ගුණ සමරු උත්සවය ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියස දී පැවැත්විණි.

මල් කළඹක් තැන්පත් කර පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිවරයා අනතුරුව අරුනාචලම් පවුලේ සාමාජිකයන් සමඟ සුහද කතා බහකටද එක් විය.

පොන්නම්බලම් අරුණාචලම් මහතා සිංහල, දෙමළ හෝ මුස්ලිම් නොවන ලාංකික යන සංකල්පය පිළිබඳ දැඩිව විශ්වාස කළ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා එම ලාංකික සංකල්පය අනුගමනය කළ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමන් ද සියලු ජාතීන් හා ආගමික කණ්ඩායම් එක් කර ගනිමින් රට දියුණු කිරීමට කටයුතු කළ බව ද සඳහන් කළේය.

බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනගමින් සමෘද්ධිමත් ජාතියක් ලෙස නැගි සිටීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ සියලු දෙනා එක්වීම පොන්නම්බලම් අරුණාචලම් මහතාට දැක්විය හැකි ඉහළම ගෞරවය බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

හිටපු අමාත්‍ය ඩී. එම් ස්වාමීනාදන් මහතා සහ පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.