Published on: දෙසැම්බර් 3, 2022

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් – ජනපති

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

මේ සඳහා ක්‍රීඩා, සෞඛ්‍ය,  තරුණ ඇතුළු අමාත්‍යාංශ කිහිපයක සහයෝගය ලබා ගෙන අදාළ නව වැඩපිළිවෙළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා පැවැසීය.

2022 ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ  ජාත්‍යන්තර දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද (03) පෙරවරුවේ සංවිධානය කර තිබූ ජාතික උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

විවිධ හැකියාවන් ඇති විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සිටින අතර  ඔවුන්ගේ නිර්මාණශිලි කුසලතාවයන් රටේ අනාගත දියුණුව වෙනුවෙන් ඵලදායීව යොදා ගැනීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක ආයතනවල පවතින අඩු පාඩු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ සොයා බලා එම අංශයන්හි පහසුකම් සංවර්ධනයට පියවර ගන්නා බව ද පැවසීය.

කාන්තා, ළමා කටයුතු, සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය,  ආබාධ සහිත තැනැත්තන් සදහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කර තිබූ මෙම උත්සවයට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල්, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්විම් අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ අනුරාධා හේරත් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.