Published on: සැප්තැම්බර් 4, 2023

විදුලියෙන් ධාවනය වන බස් රථ 200ක් ආනයනයට ආයෝජකයන්ට අවස්ථාව – ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා

බස්නාහිර පළාතේ ධාවනයේ යෙදවීමට විද්‍යුත් බස් රථ 200ක් ආනයනය කිරීම සඳහා ආයෝජකයන්ට අවස්ථාව ලබාදී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට විද්‍යුත් බස්රථ ධාවනය ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය සමඟ ඒකාබද්ධව බස්නාහිර පළාත තුළ විද්‍යුත් බස් රථ 200ක් ධාවනය කිරීමට සැලසුම් කර තිබෙන බවත්, 2030 වසර වන විට ලෝකයේ සියලුම පොදු ප්‍රවාහන කේෂ්ත්‍රය පොසිල ඉන්ධන භාවිතයෙන් තොර වන බවට වූ ලෝක සම්මුතිය අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය,

බස්නාහිර පළාතේ ධාවනය වෙනුවෙන් විද්‍යුත් බස් රථ 200ක් ගෙන්වීමට ආයෝජකයන්ට අවස්ථාව ලබා දී තිබෙනවා. එම ව්‍යාපෘතිය වෙනුවෙන් මේ දිනවල ආයතනවලින් අභිලාෂයන් කැඳවා තිබෙනවා. දේශීය හා විදේශීය වශයෙන් හවුල් ව්‍යාපාරයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එසේම විදුලි ආරෝපණ මධ්‍යස්ථාන (Charging Point) ස්ථාපිත කිරීම සඳහාත් එම ආයෝජකයන්ට අවස්ථාව ලබාදී තිබෙනවා.

අනතුරුව බස් රථ ධාවනයෙන් ලැබෙන ආදායමෙන් ආයෝජකයාගේ ආයෝජන ප්‍රාග්ධනයට සාධාරණයක් ඉටු කරනවා. නිශ්චිත කාලයක් තුළ ආයෝජකයාගේ ආයෝජිත මුදල ගෙවීමෙන් පසුව බස් රථවල අයිතිය රජයට හිමි වෙනවා. මේ සඳහා ආයෝජනය කිරීමට ලෝකයේ ඕනෑම රටකට ද අවස්ථාව තිබෙනවා.

2030 වන විට ලෝකයේ සියලුම පොදු ප්‍රවාහන පොසිල ඉන්ධන භාවිතයෙන් තොරව, විදුලියෙන් ධාවනය කරන තත්ත්වයට පත් කළ යුතුයි කියා ලෝක සම්මුතියක් තිබෙනවා. පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට කාබන් වෙළෙඳාමට සම්බන්ධ අය මේ සඳහා ආයෝජනය කරනවා. විද්‍යුත් බස් රථ මගින් පරිසරයට විශාල අගයක් ලැබෙනවා. එම අගයට ලෝකයේ විවිධ සංවිධාන ඉහළ මිලක් ගෙවනවා.

ඒ වගේම රාජ්‍ය ආයතනවල ආදායම් අඩු වීම වැළැක්වීමට සියලු ආයතන ඩිජිටල්කරණයට ලක් කළ යුතුයි.

දුම්රිය සහ ලංගම ප්‍රවේශ පත්‍ර අළෙවිය විද්‍යුත් කාඩ් පත් ක්‍රමය අනුව සිදු කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඊට අදාළව කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර තිබෙනවා. මුදල් භාවිතයෙන් තොරව විද්‍යුත් කාඩ්පතකින් හෝ QR ක්‍රමවේදයකින් ගනුදෙනු කරන විට 50%කින් මෙම ආයතනවල ආදායම වැඩි කර ගැනීමට හැකියාවක් තිබෙන බව කිව යුතුයි.

මෙරට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, දුම්රිය, ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු ආයතන නවීන තාක්ෂණය තුළින් නැවත ගොඩනැඟිය හැකියි. මේ වන විට අප දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙනස්කම් රැසක් සිදු කර තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ වසර 4කට පසුව වරායට රේල් පීලි නැවක් ගෙන්වා තිබෙනවා. කොළඹ සිට පානදුර දක්වා දුම්රිය මාර්ගයේ පීලී අබලන් වෙලා. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීලී අඩුම තරමින් වසර 5කට වරක්වත් මාරු කරන්න අවශ්‍යයි. මෙම අලුත්වැඩියාවන් සිදු නොකිරීම නිසා දුම්රිය ධාවනය කිරීමේ වේගය සීමා වී තිබෙනවා. ඒ හේතුවෙන් කාර්යාල සේවකයන්ට වේලාවට රාජකාරියට වාර්තා කිරීමේ ගැටලුවක් මතු වී තිබෙනවා.

එම නිසා කොළඹ සිට පානදුර දක්වා දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කරනවා. ජනවාරි සිට උතුරු දුම්රිය මාර්ගය තාවකාලිකව වසා දමා මාස හයක් ඇතුළත නවීකරණය කිරීමට තීරණය කර තිබෙනවා. ඉන් පසුව කොළඹ සිට කන්කසන්තුරය දක්වා පැයට කිලෝමීටර් 100ක වේගයකින් ධාවනය කිරීමට හැකිවන පරිදි සකස් කරනවා.

ඉන්දීය ණය ආධාර යටතේ සංඥා පද්ධතිය නවීකරණයට අදාළව ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතයි. කැලණි මිටියාවත දුම්රිය මාර්ගයේ වේග සීමාවන් ඉවත් කර වේගය වැඩි කිරීමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් මේ මස මුල් සතියේ සිට ආරම්භ කරනවා.

දුම්රිය මැදිරියක් විදේශයකින් ආනයනය කළහොත් රුපියල් මිලියන 200ක් වැය වෙනවා. ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයෙක් දුම්රිය මැදිරියක් අලුත්වැඩියා කරනවා නම් ඊට වැය වනුයේ රුපියල් මිලියන 25යි. ඒ අනුව එළැඹෙන අයවැයෙන් පවතින දුම්රිය මැදිරි ප්‍රතිසංස්කරණය කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.