Published on: පෙබරවාරි 19, 2023

වසර 34කට පසු ජනරජ පෙරහර වීථි සංචාරය කෙරේ

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වසර තිස් හතරකට පසුව පවත්වන ලද ජනරජ පෙරහර අද (19) මහනුවර නගරයේ දී වීථි සංචාරය කෙරිණි.

එහි සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙම පෙරහර සංවිධානය කර තිබුණේ 75 වන නිදහස් දින සැමරුමට සමගාමීවය.

අද පස්වරු 6.45ට මහනුවර මඟුල් මඩුව භූමියෙන් ආරම්භ වූ පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්ද වීදිය ඔස්සේ පැමිණ රජ වීදියට පිවිස, නැවත මාළිගාවට ගෙවදීමෙන් පෙරහරේ කටයුතු අවසන් විය.

අලි ඇතුන් සහ දළදා මාළිගාවේ මෙන්ම සතර මහ දේවාලවල නර්තන කණ්ඩායම් ඇතුළු සියලු පෙරහර සංස්කෘතිකාංගවලින් මෙම ජනරජ පෙරහර විචිත්‍රවත් විය.

සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය ද අරමුණු කර ගනිමින් මෙය සංවිධානය කෙරුණු අතර පෙරහර නැරඹීම සඳහා අති විශාල ජනකායක් වීථි දෙපස රැස්ව සිටියහ .

රටේ ඉතාමත් සුවිශේෂි වැදගත් අවස්ථාවලදී පමණක් රජයේ ඉල්ලීම පරිදි ශ්‍රී දළදා මාළිගාව මගින් මෙවැනි විශේෂ පෙරහර සංවිධානය කෙරේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ආචාර්ය බන්දුල ගුණවර්ධන, විදුර වික්‍රමනායක, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්ද අමරවීර, ආචාර්ය විජයදාස රාජපක්ෂ, අලි සබ්‍රි, මනුෂ නානායක්කාර, ජීවන් තොන්ඩමන්, රාජ්‍ය ඇමතිවරුන් දිලුම් අමුණුගම, අනුරාධ ජයරත්න, ජාතික ආරක්ෂාව පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ යන මහත්වරුන් ද තානාපතිවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.