Published on: අගෝස්තු 17, 2022

වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නම් තරඟකාරී අපනයන ආර්ථිකයක් හැර වෙන විකල්පයක් නැහැ. ජනපති විද්වත් වෘත්තිකයින්ට කියයි.

වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නම් තරඟකාරී අපනයන ආර්ථිකයක් හැර වෙන විකල්පයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී ඊයේ (16) පස්වරුවේ පැවැති “විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනය සංවිධාන කළ 2022 සම්මාන උළෙල අමතමිනි.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය,
අද මෙම ස්ථානයේ දී වෘත්තිකයින්ට සම්මාන පිරිනැමීමේදී එක අංශයක් අමතක කරලා තිබෙනවා. ඒ තමයි දේශපාලන වෘත්තිය. ඒ වුනාට මම හිතන්නේ නැහැ දේශපාලඥයන්ට සම්මාන දීමට තරම් කැමැත්තක් ඔබට තිබෙනවා කියලා. එය සාධාරණයි. අපි අතර පරස්පර විරෝධි අදහස් තිබුණට අපට සමහර අංශවලින් එකඟ වෙන්න පුලුවන්. ඒ වගේම සමහර අංශවලට එකඟ වෙන්න බැහැ. වෘත්තිකයන් ලෙස ඔබ රටේ ආර්ථිකයට සහ සමාජයට විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා.
අද අපි මේ සම්මාන උළෙලට සහභාගී වෙන්නේ රට මින් පෙර අත් නොවිඳි බොහෝ භයානක ආර්ථික අර්බුදයක් හමුවේයි. 2017 වසරේ අපේ ආර්ථිකය ධන මට්ටමක තිබුණා. නමුත් නොයෙකුත් අංශවලින් අපේ ආර්ථිකයට බලපෑම් එල්ල වුණා. දින 52 ආණ්ඩුව කාලයේ ඒ පරතරයත්, පාස්කු ඉරිදා ප්‍රහාරයේ බලපෑමත්, 2019 දේශපාලන හා ආර්ථික හේතුන් මත බදු අඩු කිරීම වැනි කරුණු සහ 2020 කොරෝනා ව්‍යසනයත්, රසායනික පොහොර ගෙන්වීම නැවැත්වීමට ගත් තීරණය වගේම කෘතිමව විනිමය අනුපාතය පාලනය කිරීම වැනි හේතුන් මත අපේ රට අර්බුදකාරී තත්ත්වයකට පත්වුණා. මේ වසරේ ජනවාරි, පෙබරාවාරී වන විට එම තත්ත්වය තවත් උග්‍ර වුණා. ඒ ආර්ථික අර්බුදය දේශපාලන අරගලයකට පෙරලුනා. මුලදි එයට තරුණ ප්‍රජාව සහභාගී වුණත් පසුව මධ්‍යම පාන්තිකයින් ද ඊට එකතු වුණා. නමුත් පසුව කලහකාරී අන්තවාදීන් එම අරගලයට සම්බන්ධ වෙලා තරුණ ප්‍රජාව ඉන් ඉවත් කළා.
මෙවැනි අරගල දෙකක් අපි අත්වින්දා. දෙවැනි අරගලයේ ඉලක්කය වුණේ රජයේ ආයතන අකර්මන්‍ය කරලා රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බැඳ දැමීම.ගරු කථානායකතුමා දන්නවා අපි නීතිය ස්ථාපනය කරලා පාර්ලිමේන්තුව ඉන් මුදා ගත්තා.
දැන් අප පසුකරන්නේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ කාලසීමාවක්. අපි නැවතත් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. තත්ත්වය බොහෝදුරට සාමාන්‍ය අතට හැරී තිබෙනවා. මම නැවතත් හදිසි නීතිය දීර්ඝ කරන්නේ නෑ. මම හිතන විදිහට හදිසි නිතිය මේ සති අන්තය වන විට අවසන්වීමට නියමිතයි. නමුත් එය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.
අපිට නැවත 2019 – 2020 කාලයට ආපස්සට ගමන්න කරන්න බැහැ. අපි කල්පනා කළයුතුයි. අපි ආකල්පමය වශයෙන් වෙනස්වීමට අවශ්‍යයයි. එසේ කළහොත් ඉන්පසු මේ රටට අනාගතයක් තිබෙනවා. එසේ නොවුණහොත් අපි තවත් ලෙබනනයක් බවට පත් වෙනවා.
අද රටේ ආර්ථිකය කෙතරම් නරක තැනකද තියෙන්නේ කියලා මම ඔබට කිව යුතු නැහැ. මුදල් අමාත්‍යවරයා ලෙස පත්වූ විට මම හඳුනාගත් කරුණක් තමයි විදේශ විනිමය තත්ත්වය සැලකූ විට මම ශ්‍රී ලංකා ජනරජයට වඩා පොහොස‍තෙක් බව. මගේ නිවසේ තිබෙනවා මා විසින් ඉතිරිකරගත් ඩොලර් දහසක්. ඒ අනුව මම ජනරජයට වඩා දහස් ගුණයකින් පොහොසත්. සංජීව් ගාර්ඩිනර් වගේ අය ගත්තොත් මේ ජනරජයට වඩා මිලියන් ගණනකින් පොහොසත්. ඒක තමයි යතාර්ථය.
දැන් අපි අසීරු කාලය පසුකරමින් ඉන්නේ. අපේ අවශ්‍යතාවන්ට ගෙවීම් කිරිම සඳහා ඩොලර් මිලියන දෙක තුන හොයාගන්න මහන්සි වුණ කාලය වාසනාවකට දැන් අපි පහුකරලා තිබෙනවා. නමුත් අපි තවම අර්බුදය ජය ගෙන නැහැ. ආනයනය මත යැපෙන ආර්ථිකයක් ලෙස තවදුරටත් අපට ඉදිරියට යා නොහැකියි. අපේ වෙළෙඳ ශේෂය අද තිබෙන්නේ හිතකර තත්ත්වයක නෙමෙයි.
ඉතින් දැන් අපි කළ යුත්තේ කුමක්ද, අපි ආර්ථික ස්ථාවරත්වයක් ඇති කළ යුතුයි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටිනවා. කාර්ය මණ්ඩල එකඟතාවක් සඳහා අවසන් කොනේදේසි සැකසීමට දැන් කණ්ඩායම් දෙකක් සිටිනවා. ණය පැකේජයක් ලබාදීමට සැලසුම් කරලා චීන ණය ආපසු ගෙවීම සඳහා අමතර මූල්‍යාධාරයක් ලබාදීමට සූදානම් වීමයි. මෙම ඉලක්ක කරා ළගා විය හැකි ආකාරය ගැන අපි ජපානය සමග සාකච්ඡා කළා. ඉන්දියාව සමගත් අපි දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. අපි කඩිනමින් ක්‍රියාත්මක වුවහොත් මෙය කෙටිකාලීන වේදනාවක් වෙයි. එහෙත් තවදුරටත් වාද විවාද කළහොත් සියල්ලන්ටම විඳවිමට සිදු වෙයි. අපි නැවතත් පැරණි දේශපාලනයේම නිරතව සිටින්නේ පැරණි ක්‍රමය නැවත ගෙන ඒමටද, යන ප්‍රශ්නය මතු වෙනවා.
අපි මුලින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය සම්මත කර ගමු. මමත්, ඔබත් ඊට සහය දක්වන බව මම දන්නවා. ඉන් පසුව අපි පාර්ලිමේන්තුව රජයක් බවට පත්කිරීමට උත්සාහ කරමු. ආංශික අධීක්ෂණ කාරක සභාව, ජාතික සභාව, අධීක්ෂණ කාරක සභාවට සහභාගීවිය හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නෙවෙයි.
ඒ සඳහා ඔවුන්ට තරුණ නියෝජිතයින් පස් දෙනෙකුට ආරාධනා කළ හැකියි. ඔවුන්ට කමිටු සභාපතිවරයාගේ අවසරය පරිදි පක්ෂවලින් ප්‍රශ්න කළ හැකියි. ලෝකයේ වෙනත් කිසිදු රටක් මේ ආකාරයෙන් තරුණ පිරිසට ආංශික කමිටුවලට සහභාගීවීමට අවස්ථාවක් ලබාදී නැහැ. අපිට මේ පාර්ලිමේන්තුව හරහා නව ක්‍රමවේදයකට අවතීරණය විය හැකියි. අපට එය තවත් පිරිසකට පැවරිය නොහැකියි. මේ අනුව නව ව්‍යවස්ථාවක් කරා යාමට අපට හැකියාවක් තිබෙනවා. ජන වර්ග අතර ගැටලුව අප විසඳාලිය යුතුය. යුද්ධය 2009 වසරේදී අවසන් වූ බැවින් අප නැවතත් යුද්ධ කළ යුතු වන්නේ නැහැ.
අපි ඩයස්පෝරාව දෙස බැලිය යුතුයි. ඔවුන් ශක්තිමත් මෙන්ම ආයෝජන මුලාශ්‍රයක්. ඒ අනුව මම තීරණය කළා ඩයස්පෝරාවේ ගැටලු සහ අපේක්ෂාවන් සොයා බැලීම සඳහා මෙරට ඩයස්පෝරා කාර්යාලයක් පිහිටුවන්න.
අපි දැන් හතරවන කර්මාන්ත විප්ලවකට සූදානම් විය යුතුයි. මුදල් ඉපැයිය හැකි මාර්ග පිළිබඳ සොයා ගැනීමට අපිට එය භාවිතා කළ හැකියි. නමුත් අපේ ආර්ථිකය සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. රාජ්‍ය අංශය බිඳ වැටෙන විට අධ්‍යාපනය, සෞඛ්‍ය සහ නිවාස වැනි මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අපට මුදල් තිබිය යුතුයි.
ඒ නිසා සමස්ත ක්‍රියාවලියම ප්‍රතිව්‍යුහගත කරන්නේ කොහොමද කියලා අපි සෙයා බැලිය යුතුයි.

අපේ ඡන්ද ක්‍රමවේදය ගැන අප නැවත සිතිය යුතුයි. මනාප ඡන්ද ක්‍රමය තමයි අපට ඉතා හානිදායක වී තිබෙන්නේ. ඒ නිසා අපේ පාර්ලිමේන්තුවට හැකියාව තිබිය යුතුයි නව ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්න. අපට මෙය වෙන පාර්ශ්වයකට පැවරිය නොහැකියි.
එහිදී අදහස් දැක් වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා,

විද්වත් වෘත්තිකයන්ට රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් තිබෙනවා. රට නිවැරදි මාවතට යොමු කරන්න ඔවුන්ට ප්‍රධාන භූමිකාවක් තිබෙනවා. මෙවැනි අර්බුද පවතින කාලයක විද්වත් වෘත්තිකයන් ඉදිරියෙන්ම ක්‍රියාකරන්න ඕන රට ඉදිරියටම ගෙනයන්න. මිනිසුන්ගේ ආකල්ප වෙනසක් අනිවාර්යයෙන් කරන්න ඕන. එය කිරීමේ දී වෘත්තිකයන්ට විශාල කාර්යභාරයක් පැවරෙනවා. විද්වතුන් කාර්යය හරියට කරන්න ඕන රට දියුණු කරන්න. අනිත් අය කරන දෙස නොව තමන්ගේ දායකත්වය රටට දියයුතු වෙනවා. ඔවුන් තමයි රට නිවැරදි කරන්න පුළුවන් හොඳම කණ්ඩායම. අද වනවිට අපේ රට පවතින තත්ත්වය තේරුම් ගතයුතු වෙනවා. මේ අභියෝග ජය ගෙන කෙසේ හෝ ඉදිරියට ගමන් කළයුතු වෙනවා. ඒ වෙනුවෙන් සියලු පාර්ශවයන් එක්ව කටයුතු කළයුතු වෙනවා. මෙහිදී යම් යම් භේද සැලකිල්ලට ගතයුතු නැහැ. තමන්ගේ රට වෙනුවෙන් තම දායකත්වය ලබාදීමට සියලු දෙනාම එක්විය යුතු වෙනවා. එවිට අප ඉදිරියේ තිබෙන අභියෝග ජයගැනීම අපහසු වන්නේ නැහැ.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා,

විද්වතුන් තමයි එක් ආකාරයකට වගකියන්න ඕන රට දැන් තිබෙන විනාශය සම්බන්ධයෙන්. රටතුළ යහපාලනය සහ ආර්ථික සංවර්ධනය ඇති කිරීමේ වගකීම විද්වතුන් විසින් ගතයුතු වෙනවා. නමුත් ඒ අය එම කාර්යභාරය අනිත් අයට කරන්න දීලා ඔවුන්ගේ කාර්යභාරය අතපසු කර තිබෙනවා. විද්වතුන්ට රටතුළ යම් යම් වෙනසක් කරන්න අවශ්‍ය වන්නේ නම් ඔවුන් නායක්තවය ගතයුතු වෙනවා. දේශපාලඥයන් ක්‍රියාත්මක වනතුරු සිටිය යුතු නැහැ. පාර්ලිමේන්තුවේ විද්වතුන් වශයෙන් අපි විශාල ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා රට නිවැරැදි මාවතට ගේන්න. 22 ව්‍යවස්ථා සංශෝධනය යටතේ විශාල වැඩ කොටසක් සිදුකර තිබෙනවා. ප්‍රතිපත්ති සම්පාදකයින්ට එරෙහිව ප්‍රධානම චෝදනාව තිබෙන්නේ දූෂණයයි. විනිවිදභාවයෙන් තොර සහ යහපාලනයේ ප්‍රතිඵලය තමයි අරගලය.

කෝප් සභාපතිවරයා වශයෙන් සිටි කාලයේ දී රුපියල් බිලියන 300 ක පමණ සංවර්ධන චෝදනා ආදිය සම්බන්ධ තොරතුරු අනාවරණය කළා. නමුත් එය ඉදිරියට ගෙනයන්න නොහැකි වුණා. කෝප් සභාපතිත්වයෙන් ඉවත් කළා. විද්වතුන්ට විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවුණා. නමුත් 2010 වසරේ දී වත්මන් ජනාධිපතිවරයා මට බලපෑම් කළා දේශපාලනයේ තවදුරටත් රැදී සිටිය යුතුයි කියා. මෙවැනි තත්ත්වයන් වෙනස් කරන්න ඕන කිවුවා. දූෂණයට හා වංචාවට විරුද්ධව පනතක් ගේනවා. ඒ වෙනුවෙන් දැනටමත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. එම කෙටුම්පත පිළියෙල කරන්න සරත් ජයමාන්න මහතා සහාය ලබාදුන්නා. එයට විද්වත් අදහස් ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. වත්කම් ප්‍රකාශ සම්බන්ධයෙන් ද ඊට ඇතුළත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, හිටපු ඇමති ජෝන් අමරතුංග, විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනයේ සභාපති දුලිත පෙරේරා, ප්‍රධාන ලේකම් උපාලි ජයවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-17

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.