Published on: අප්‍රේල් 22, 2024

ලෝකයේ අති නවීන තාක්ෂණික හා සංචාරක ක්‍රමවේදයක් සමඟින් “ශ්‍රී රාමායන් ට්‍රේල්ස්” දියත් කෙරේ

ඉන්දු – ශ්‍රී ලංකා ආගමික සහ සංස්කෘතික සබැඳියාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සහ මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් ලෝකයේ අති නවීන තාක්ෂණික හා සංචාරක ක්‍රමවේදයක් සමඟින් ශ්‍රී රාමායන් ට්‍රේල්ස් (ශ්‍රී රාමායන මංපෙත) ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම ඊයේ (21) පස්වරුවේ කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේ දී සිදු විය.

ඉන්දියාවේ අයෝධ්‍යයා හි සුවිශාලතම ශ්‍රී රාම පූජා මන්දිරයේ ප්‍රධාන භාණ්ඩාගාරික අතිඋතුම් ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ් ස්වාමිතුමාගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා එක් විය.

“ශ්‍රී රාමායන් මංපෙත” වන්දනා චාරිකා ව්‍යාපෘතිය මඟින් රාමායන වීර කාව්‍යයේ සඳහන් වන ශ්‍රී ලංකාව පුරා පිහිටි ප්‍රධාන ස්ථාන නවයක් හින්දු භක්තිකයින්ගේ වන්දනාව සහ සංචාරය සඳහා ප්‍රචලිත කිරීම සිදු කෙරෙන අතර අධ්‍යාත්මික හා සංස්කෘතික උරුමයන් පිළිබඳ උනන්දුවක් දක්වන මිලියන සංඛ්‍යාත ඉන්දියානු සහ ජාත්‍යන්තර සංචාරකයින් මෙරටට ආකර්ෂණය කර ගැනීම එහි අරමුණයි.

මෙම සිද්ධස්ථානවල සංචාරය කිරීමට අවස්ථාව ලබාදීමට අමතරව, මෙම ඓතිහාසික සිද්ධස්ථාන හා බැඳුණු පැරණි අධ්‍යාත්මික සිදුවීම් කෘත්‍රිම බුද්ධිය (AI), Augmented reality, සහ Virtual reality වැනි අති නවීන තාක්‍ෂණය ඔස්සේ සජීවීකරණයට ලක්කර පෙන්වීම හරහා මෙම සංචාරයෙහි නිරතවන්නන් හට නවමු අත්දැකීමක් ලබා දීමට සැලසුම් කර ඇත.

මෙම වන්දනා චාරිකා ව්‍යාපෘතිය සඳහා මන්නාරම් ද්‍රෝණියේ පිහිටි ආදම්ගේ පාලමේ සිට නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි සීතාඑළිය දක්වා රාමායන වීර කාව්‍යයේ සඳහන් සෑම ස්ථානයක්ම තෝරාගෙන ඇත.

හිටපු කතානායන කරු ජයසූරිය, ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා, යුරෝපා හා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී නිරංජන් දේව් ආධිත්‍ය යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.