Published on: පෙබරවාරි 23, 2023

රාජ්‍ය සේවකයින්ට රාජකාරී විදේශ ගුවන් ගමන් පිරිමැසුම් පන්තියෙන් (Economy Class) පමණයි ජනපතිගෙන් උපදෙස්

රාජකාරී විදේශ සංචාර සඳහා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට රජයේ අරමුදල් භාවිතා කරනු ලබන අවස්ථාවලදී අගවිනිසුරු,

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු, අභියාචනාධිකරණයේ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරු හැර අනිකුත් සියලුම නිලධාරීන් පිරිමැසුම් පන්තියේ (Economy Class) ගුවන් ටිකට්පත් පමණක් මිලදී ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දී තිබේ.

මීට අදාළව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් යුත් චක්‍රලේඛයක් 2023 පෙබරවාරි 22 දිනැතිව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් සහ සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන්, සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කර තිබේ.

යම් නිලධාරියෙකුට ව්‍යාපාරික පංතියේ (Business Class) ගමන් කිරීමට අවශ්‍ය වන්නේ නම්, පිරිමැසුම් පංතියේ ගුවන් ටිකට්පතක් මිලදී ගැනීමට යන මුදල සහ ව්‍යාපාරික පංතියේ ගුවන් ටිකට් පතක් මිලදී ගැනීමට යන මුදල අතර වෙනස සිය පෞද්ගලික මුදලින් වැයකර ව්‍යාපාරික පංතියේ ගමන් කිරීමට හැකියාව ඇත.

මෙම චක්‍රලේඛයේ සඳහන් ආකාරයට යම් නිලධාරියෙකුට ඉහත විධිවිධානවලට පරිබාහිරව සුවිශේෂි හේතුවක් මත රජයේ අරමුදල් භාවිතා කර ව්‍යාපාරික පංතියේ ගමන් කිරීමට අවශ්‍ය වන්නේ නම්, ඒ පිළිබඳ ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර ජනාධිපති ලේකම්වරයාගේ පූර්ව අනුමැතිය ලබා ගත යුතුය.

අදාළ චක්‍රලේඛයෙහි සඳහන් විධිවිධාන 2023 මාර්තු 01 වන දින සිට බලාත්මක වන අතර, ඒ අනුව මෙම කරුණට අදාළව මීට පෙර නිකුත් කර ඇති චක්‍රලේඛ හෝ උපදෙස් ලිපිවල සඳහන් විධිවිධාන එදින සිට බලරහිත වේ.

වර්තමානයේ රටේ පවතින ආර්ථික හා මූල්‍ය දුෂ්කරතා මත රජයේ අරමුදල් අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා පමණක් ඉතා අරපිරිමැස්මෙන් යුතුව වැය කිරීමට ගෙන ඇති පියවර අනුව ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දී තිබේ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.