ජනතාවගේ අයිතිය සුරක්ෂිත වන ආකාරයට රාජ්‍ය වත්කම් ඇතුළත් කර නව ආයෝජන සමාගමක් ඉදිරියේදී ඇති කරන බවත් ඒ සඳහා නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එමඟින් වත්කම් උපයන නව ආයෝජන සඳහා යොමුවීමට මෙන්ම විධිමත් විශ්‍රාම සැලසුම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරිමට හැකි වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේ , සණස ව්‍යාපාරය මගින් ආරම්භ කරන වැඩිහිටි විශ්‍රාම රක්ෂණ ක්‍රමය හදුන්වා දීම වෙනුවෙන් කොළඹ දී අද (02) පෙරවරුවේ පැවැති උත්සවයට එක්වෙමිනි .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් වැඩිහිටි රක්ෂණ හයක් සංකේතාත්මකව ලබාදීම ද මෙහිදී සිදුවිය.
ආර්ථිකය කඩා වැටී රට අස්ථාවරව තිබූ මොහොතක තමන් රට භාරගෙන අසීරු තීන්දු තීරණ ගෙන යළි ගොඩනැගූ බව සඳහන් කළ ජනාධිපතිවරයා එදා ජනතාව ඉවසීමෙන් කටයුතු නොකළා නම් අද බංග්ලාදේශයට අත්ව ඇති ඉරණම ශ්‍රී ලංකාවට ද අත්වන බව පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,
1977 වසරේ පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මේ රටේ ආර්ථිකය විවෘත කළා. ඒ අනුව අලුත් ආයතන, අලුත් ව්‍යාපාර ඇති කිරීමට එක් එක් කණ්ඩායම් ඉදිරිපත් වුණා. පී.ඒ.කිරිවන්දෙණිය මහතා සණස ව්‍යාපාරය ආරම්භ කිරීමට එදා කටයුතු කළා. ඒ අනුව මේ වැඩපිළිවෙළ ව්‍යවස්ථානුගත කිරීමට එදා පියවර ගනු ලැබුවා.
නිෂ්පාදනය සහ බෙදා හැරීම මේ රටේ සියළු ජනතාව අතරේ බෙදී යා යුතු බවට වන යෝජනාව 1962 වසරේ ඩඩ්ලි සේනානායක සහ ජේ. ආර්. ජයවර්ධන යන මහත්වරුන් ගෙන එනු ලැබුවා. එය අයිතිය බෙදා හැරීමේ යෝජනාව ලෙසද ව්‍යවස්ථාවට ඇතුළත් කළා. ඒ අනුව මෙවැනි සණස ව්‍යාපාර වැනි සංවිධාන දිරිගැන්වීම සිදු කෙරුණා. එමඟින් ශ්‍රී ලාංකේය ආර්ථිකයටත් විශාල දායකත්වයක් ලැබී තිබෙනවා.
21වන ශත වර්ෂයේ දී 20 වන ශත වර්ෂයට වඩා වෙනසක් ඇතිවුණා. කුඩා ව්‍යාපාර බිහි වී ආර්ථිකය පුළුල් වුණා. ත්‍රීරෝද රථ කර්මාන්තය හා සංචාරක ක්ෂේත්රය ආශ්රිත කුඩා ව්‍යාපාරය වේගයෙන් ඉදිරියට පැමිණියා. නමුත් 2022 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටුණා .
මා රට භාර ගත්තේ එලෙස ආර්ථිකය කඩාවැටී රට අස්ථාවර වූ අවස්ථාවකයි. එදා ජනතාවට ඉවසීමක් තිබුණේ නැතිනම් අද මේ රටේ විශාල අරාජිකත්වයක් නිර්මාණය වෙනවා.
මිනිස්සු පාරේ ඉඳගෙන රට පාලනය කරන්න ගියා නම් අද බංගලාදේශයට අත්ව තිබෙන ඉරණම ලංකාවටත් අත්වෙනවා. රටේ ආර්ථිකය ගොඩනැඟීමේදී අසීරු ජනප්‍රිය නොවන තීන්දු ගැනීමට සිදුවනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර මේ රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා අවශ්‍ය පියවර ගත්තා. වාහනයක්, නිවසක්, නවීන විදුලි උපකරණයක් මිලදී ගැනීම ජනතාවට සිහිනයක් බවට පත්ව තිබුණා. අප එවැනි අසීරු අවස්ථාවක් පසුකර පැමිණ තිබෙනවා. ආර්ථිකය දැන් යම් ස්ථාවර තත්ත්වයකට පැමිණ තිබෙන නිසා ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාවද වැඩිවී තිබෙනවා. ඒ සමග කුඩා ව්‍යාපාර ආයෝජකයන් ලෙස ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරනවා.
“අයිතිය“ ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළද ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මෙරට ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරිමට සින්නක්කර ඔප්පු ලබාදීමට තීරණය කළා. ඒ අනුව ලක්ෂ විස්සකට සින්නක්කර ඔප්පු ලබා දීම මෙමඟින් සිදු කරනවා. කොළඹ නාගරික මහල් නිවාස ජනතාවට සින්නක්කරව ලබාදීමේ වැඩපිළිවෙළක්ද අප ආරම්භ කළා. කඳුකරයේ ජනතාව වෙනුවෙන් වතුගම්මාන ඇති කරමින් පවුලකට පර්චස් හතක බිම් කොටසක් ලබාදීමටද සැලසුම් කර තිබෙනවා. මේ ක්‍රමවේදය අනුව ජනතාවට “අයිතිය“ පවරාදීම කඩිනමින් සිදුකරමින් පවතිනවා.
ඒ වගේම අඩු ආදායම්ලාභීන්ට සහන පොලිය මත නිවාස ණය ලබාදීමට අවධානය යොමු කරමින් තිබෙනවා. මෙතෙක් සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදලේ මුදල් යෙදවූයේ බැඳුම්කර මිලදී ගැනීම සඳහායි. දැන් අප ගෙන යන වැඩපිළිවෙළ අනුව රාජ්‍ය වියදම් අඩු කර තිබෙනවා. රාජ්‍ය ආදායම් වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. ආදායම වැඩූ විට බැඳුම්කර මිලදී ගැනීමට අර්ථසාධක අරමුදලේ මුදල් අවශ්‍ය වන්නේ නැහැ. එම මුදල් ආයෝජනය සඳහා යෙදවීමට සාකච්ඡා කරමින් තිබෙනවා. මේ පිළිබඳව වෘත්තීය සමිති සහ හාම්පුතුන් සමඟද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.
රජයේ වත්කම් වලින් ආයෝජන සමාගමක්, (National Wealth Fund) ඇති කිරීමටද ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. නෝර්වේ, කටාර්, සිංගප්පුරු වැනි රටවල්ද රාජ්‍ය ආදායමෙන් එන ලාභය සුභසාධනය සඳහා යෙදවීමට මෙවැනි සමාගමක් නිර්මාණය කර තිබෙනවා. එමඟින් ජනතාවගේ “අයිතිය“ සුරක්ෂිත කළ හැකියි.
මේ සණස ව්‍යාපාරය මඟින් ද සිදු කරන්නේ එවැනි සමාජ ආයෝජන වැඩපිළිවෙලක් බව කිව යුතුයි. විවිධ සේවා සමූපකාර සමිතිවෙතින් ද සිදු කරන්නේ මෙවැනි සමාජ ආයෝජන ක්‍රමවේදයක් බව කිව යුතුයි. මේ සඳහා නව නීති ගෙන ඒමට අවශ්‍ය අතර ඩෙන්මාර්කය හා ස්විඩනය යන රටවල තිබෙන නීති දෙස අවධානය යොමු කර එම නීති සකස් කළ යුතුයි. එමඟින් ආයෝජන හෝ විශ්‍රාම සැලසුම් වෙත ද යොමු විය හැකියි.
නව ඩිජිටල් ආර්ථිකයට පැමිණෙන තරුණ ව්‍යවසායකයින්ට වෙනම සණස ව්‍යාපාරයක් ඇති කළ යුතුයි. කෘෂිකාර්මික අංශය හා ධීවර අංශය නවීකරණය කිරීම මඟින් ඵලදායී ලෙස ආර්ථිකය දියුණු කළ හැකියි. ඒ සියල්ලටම පෙර ගමන් සහකරු වන්නේ සණස ව්‍යාපාරය බව මා කියන්න කැමතියි. සණස ව්‍යාපාරය කියන්නේ වැස්සට තිබෙන කුඩය වගෙයි. හිසට තිබෙන වහල වගෙයි. මෙම ව්‍යාපාරය සඳහා ඉදිරියටත් සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වෙනවා
සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ.කිරිවන්දෙණිය මහතා,
සණස ව්‍යාපාරය ආරම්භ කළේ 1977 වසරේදීයි. එදා තිබූ නව ආර්ථික රැල්ලට මුහුණදීම සඳහා ජනතාව හුරු කිරීමට එමඟින් අප කටයුතු කළා. කුඩා ගොවියා , කුඩා නිෂ්පාදකයා ඉදිරියට ගෙන එන ක්‍රමවේදය සණස ව්‍යාපාරය මඟින් ගොඩනැඟුවා. එදා සණස ව්‍යාපාරයේ සාමාජිකයින් 84000ක් පමණ සිටියා. අද වන විට ලංකාවේ ජනගහනයෙන් 17% ක් පමණ සණස සාමාජිකයන් බව කිය යුතුයි. මේ වනවිට බිලියන ගණනක ආදායමක් සහිත ව්‍යාපාරයක් බවට සණස පත්ව තිබෙනවා.
ඒ වගේම අප විසින් අවදානම් කළමනාකරණය පිළිබඳ කටයුතු කිරීමට ණය රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දුන්නා. එසේම රක්ෂණ සමාගමක්ද අප විසින් ආරම්භ කළා. මේ වන විට මෙරට වයස්ගත වන ප්‍රමාණය වැඩි වෙමින් තිබෙන අතර, ඔවුන් වෙනුවෙන් නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමටද අප අදහස් කළා. මේ වැඩපිළිවෙළ අනාගතයට ඉතා වැදගත් බව කිව යුතුයි. ඒ හා සම්බන්ධ වීමට නව තාක්ෂණය හඳුන්වා දෙනවා. මේ වැඩිහිටි රක්ෂණයේ වාරිකය ආරම්භ කරන්නේ රුපියල් 10ක් වැනි කුඩා මුදලකින් බවද පැවසිය යුතුයි. මෙම රක්ෂණ ක්‍රමය ඉදිරියට ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට අප අපේක්ෂා කරනවා.
රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය , ලසන්ත අලගියවන්න , සණස ජීවිත රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අයිවන් නිකලස් යන මහත්වරු ඇතුළු සණස සංගමයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.