Published on: මැයි 9, 2024

රට ගොඩනැගීමට පොදු සම්මුතියක් අවශ්‍යයි

  • එකඟත්වයකින් හා සම්මුතියකින් යුතුව ඉදිරියට ගියහොත් ලෝකයේ සංවර්ධිත රටක් ලෙස ශ්‍රී ලංකාව කඩිනමින් ඔසවා තැබිය හැකියි.
  • රටේ අනාගත පරපුර වෙනුවෙන් ලැබෙන අවස්ථාව පැහැර හරින්න එපා.
  • අප අද කටයුතු කරන ආකාරය අනුව අනාගතයේ දිනක විනිශ්චයට භාජනය වෙනවා.
  • මෙම අසීරු අවස්ථාවේ රට වෙනුවට තම පෞද්ගලික අභිලාෂ මත කටයුතු කළහොත් එය විශාල විනාශයක ආරම්භයක් වනු ඇතියි – ජනපති පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසයි.

එකඟත්වයකින් හා සම්මුතියකින් යුතුව ඉදිරියට ගියහොත් ලෝකයේ සංවර්ධිත රටක් ලෙස ශ්‍රී ලංකාව කඩිනමින් ඔසවා තැබිය හැකි බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් පොදු සම්මුතියක අවශ්‍යතාවය යළි අවධාරණය කළේය.

රටේ අනාගත පරපුර වෙනුවෙන් යමක් කිරීමට ලැබෙන අවස්ථාව පැහැර නොහරින ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටී ජනාධිපතිවරයා මෙම අසීරු අවස්ථාවේ රට වෙනුවට තම පෞද්ගලික අභිලාෂ මත කටයුතු කළහොත් එය විශාල විනාශයක ආරම්භයක් වනු ඇති බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (09) පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

අප අද කටයුතු කරන ආකාරය අනුව අනාගතයේ දවසක විනිශ්චයට භාජනය වනු ඇති බව ද පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදිනට රටට ද්‍රෝහිකම් කළ අය ලෙස හංවඩු ගසා ගන්නවා ද, නැතිනම් රටට ආදරය කළ පිරිසක් ලෙස හඳුන්වා ගන්නවා ද ? කියා තීරණය කළ යුතු බවද සඳහන් කළේය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් පමණක් නොව ආගමික නායකයන්, වෘත්තීය සමිති, වෘත්තීවේදීන්, ව්‍යාපාරික ප්‍රජාව, රාජ්‍ය නොවන සංවිධාන, විවිධ මතධාරී නායකයන් මෙන්ම සමාජ බලපෑම් කළහැකි පුද්ගලයන් ආදී සියලුදෙනා එම පොදු සම්මුතිය සමඟ එක් විය යුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතා කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය,

රට නැවතත් ගොඩ නැංවීමේ මෙහෙවර මම භාර ගත්තාට පස්සෙ ආර්ථිකයේ සැබෑ තත්ත්වය පිළිබඳ සියළු තොරතුරු මම වරින් වර මේ සභාව හමුවේ ගෙන හැර දැක්වූවා. පසුගිය වසර දෙක තිස්සේම මම ආර්ථිකය සහ අනාගත ආර්ථික සැලසුම් ගැන කරුණු ඔබ හමුවේ ඉදිරිපත් කළා. මම භාර ගත්තේ ගිනිගත්තු රටක්. අපායට වැටුණු රටක්, හැකිලුණු ආර්ථිකයක්, උද්ධමනය සියයට 70 ක පැවතුනා.

අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 10 – 12 වඩා වැඩි අගයකට වැඩි වෙලා. පොළී අනුපාතය සියයට 30ක් දක්වා ඉහළ නැංවිලා. ඩොලරය රුපියල් 450 ක් පමණ මට්ටමට වැඩි වෙලා. විදේශ විනිමය සංචිත බිංදුවටම වැටිලා.
සතියක් තරම් කාලයක් සඳහාවත් ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරන්න සල්ලි තිබුණේ නැහැ. රටේ බහුතරයක් හිටියේ පාරේ. සමහරු දවස් ගණන් පෝලිම්වල. තවත් සමහරු දවස් ගණන් අරගලවල. රටත්, ආර්ථිකයත් යළි ගොඩනැංවීමේ අභියෝගය මම භාරගත්තේ අන්න එවැනි පසුබිමකයි.

වෙනත් කිසි කෙනෙක් ඒ වේලාවේ රට බේරා ගැනීමේ අභියෝගය බාරගත්තේ නෑ. ඔවුන් විවිධ කොන්දේසි ඉදිරිපත් කළා.
නමුත් මම කිසිම කොන්දේසියක් නැතිව රට භාර ගත්තා. මගේ පක්‍ෂයට මේ පාර්ලිමේන්තුවේ තිබුණේ එකම එක මන්ත්‍රී ධුරයයි. එහෙම අනතුරුදායක පසුබිමකයි මම මෙහෙවරට උර දුන්නේ.

බයක් සැකක් නැතිව ඒ අභියෝගය මම භාර ගත්තේ හේතු තුනක් උඩ. මට සැලැස්මක් තිබුණා. අත්දැකීම් තිබුණා. ඒ වගේම ජාත්‍යන්තර සම්බන්ධතා තිබුණා. ඒ නිසා, අපායට වැටිලා තිබුණ මේ රට ගොඩ ගන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා.

ගරු කථානායකතුමනි,

එතැන් පටන් විධිමත් ලෙස ආර්ථික ස්ථායිකරණ හා ප්‍රතිසාධන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට අප මුල පිරුවා. එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස 2023 වසරේ මැද භාගයේ සිට ආර්ථික වර්ධනයක ගමන ආරම්භ වී තිබෙනවා.

මෙම වර්ෂයේ ආර්ථික වර්ධනය සියයට තුනක්වත් වේ යැයි අප අපේක්‍ෂා කරනවා. විවිධ දේශීය හා විදේශීය මූල්‍ය ආයතන විසින් ඒ හා සමාන පුරෝකථනයන් ඉදිරිපත් කර තිබෙනවා. උද්ධමනය දැන් සියයට 1.5 තරම් පහළ වැටිලා. අවුරුදු ගණනාවක් තිස්සේ හිඟයක් ලෙස පැවති ප්‍රාථමික ගිණුමේ ශේෂය, 2023 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 0.6 ක අතිරික්තයක් ලෙස පරිවර්තනය කිරීමට හැකි වෙලා.

දශක ගණනාවකට පසු ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් 2023 දී ඇති වෙලා. පොළී අනුපාතය සියයට 10-13 තරම් පහළට වැටිලා.

සංචාරක ව්‍යාපාරය පණ ගැන්විලා. විදේශ ශ්‍රමිකයන් එවන මුදල් ප්‍රමාණය ඉහළ නැංවිලා. 2024 පළමු මාස තුන වන විට විනිමය අනුපාතය ඇමෙරිකානු ඩොලර් එකක් රු. 300 වඩා අඩු මට්ටමකට ගෙන ඒමට අපට හැකිව තිබෙනවා. විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 5 ඉක්මවන අගයකට ඉහළ නැංවිලා.

මේ තත්ත්වය අපට උදා කර ගන්න පුළුවන් වුණේ අභියෝගාත්මක, දුෂ්කර එහෙත් නිවැරදි මගක ගමන් කළ නිසයි. මේ රටේ සමහර කණ්ඩායම් අප ගන්නා හැම පියවරක්ම විවේචනය කළා.

IMF සංවිධානයේ සහාය ගැනීමේ සිට රටේ ආර්ථික විනය සැකසීම සඳහා අනුගමනය කළ හැම පියවරක්ම විවේචනය කළා. නමුත් ඒ සියළු විවේචන, අපවාද, පාච්චල් මැද අපි වැල් පාලම තරණය කරන්න පටන් ගත්තා. මේ මග හැර වෙන මගක් නැති බව අප අවබෝධ කර ගෙන හිටියා.

2023 සැප්තැම්බර් වල සිට පියවරෙන් පියවර අප ඉදිරියට ගියා. රාජ්‍ය වියදම් පාලනයට පියවර රැසක් ගත්තා. විවිධ භාණ්ඩ හා සේවාවල මිල ප්‍රතිසංස්කරණ රාශියක් සිදු කළා.

රාජ්‍ය ආදායම් පැවැතියේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8ක තරම් පහළ මට්ටමකයි. දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 20ක් තරම් වන රාජ්‍ය වියදම කළමනාකරණය කර ගැනීමට එම රාජ්‍ය ආදායම කිසිසේත් ප්‍රමාණවත් නැහැ. එම නිසා රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට කටයුතු කිරීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැහැ.

මෙතුවක් කල් සිටි බොහෝ ආණ්ඩු රස්සා දුන්නේ, පඩි වැඩි කළේ, ඉන්ධන, විදුලිය හා ජලය ආදී සේවා අඩුවට දුන්නේ, අයවැය හිඟය පියවා ගත්තේ පිටරට වලට ණය වෙලා. නැත්නම් සල්ලි අච්චු ගහලා. අපි ඒ තත්ත්වය වෙනස් කළා. මෙහෙම වෙනසක් එක පාරටම විඳ දරා ගන්න අමාරුයි. මොකද අවුරුදු ගණනාවක්ම අප පුරුදු පුහුණු වෙලා හිටියේ ඒ වගේ ක්‍රමයකට නිසා.

ඒත් රට යළිත් ගොඩනගන්න නම් කවුරුන් හෝ මේ වෙනසට මුල පිරිය යුතු යි.

ගරු කථානායකතුමනි,

අප ප්‍රතිසංස්කරණ මාලාවකින් රටේ මූල්‍ය විනය තහවුරු කළා. ආර්ථික ස්ථායිකරණය කර ගැනීම පිණිස අත්‍යවශ්‍ය වූ අනෙක් ප්‍රතිසංස්කරණය වුයේ ණය ප්‍රතිව්‍යුහගතකරණයයි.

2022 සැප්තැම්බර් මාසයේ IMF ගිවිසුම්වලට අත්සන් කිරීම සඳහා ද මෙම කාරණය වැදගත් වුණා. 2022 වසරේ දෙසැම්බර් මාසයේ දී පැවති සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 128 ක්. මෙම ණය ප්‍රමාණය කිසිම ආකාරයකින් යහපත් තත්ත්වයක් වූයේ නැහැ. එම නිසා ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අප වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. එය මූලික අංශ තුනක් හරහා සිදු කිරීමට සැලසුම් කළා.

පළමු අංශය වුනේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය. එම කාර්යය 2023 වසරේදී අවසන් කළා. දෙවන අංශය වශයෙන් හඳුනා ගත්තේ විදෙස් රටවල් සමඟ ඇතිකරගත් ගිවිසුම් මඟින් නිල වශයෙන් ලබා ගන්නා ලද ණය ප්‍රතිව්‍යුහගත කිරීමයි.

එම රටවල් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාවයක් ඇති කර ගැනීමට 2023 නොවැම්බර් මස වන විට අපට හැකි වුණා.

ඒ සඳහා පැරිස් සමාජය (Paris Club) මෙන්ම පැරිස් සමාජයට අයිති නැති චීනය වැනි රටවල් සමඟ ද ප්‍රතිපත්තිමය එකඟතාවයට පැමිණියා. මේ පිළිබඳව දැනට සිදු කළ යුතුව ඇත්තේ ණය හිමි රටවල් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කොට එම කාර්යය නිම කිරීමයි.

ඒ සදහා වන කෙටුම්පත පිළිබඳව දැනට ශ්‍රී ලංකා රජය නිල ණය හිමියන්ගේ කමිටුව (Official Creditors Committee) සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. එමෙන්ම චීනයේ EXIM බැංකුව සමඟද මෙම සාකච්ඡාව සිදු වෙනවා.

වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තෙවන අංශය වශයෙන් හඳුනා ගත්තා. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කටයුතු කරන ලසාඩ් (Lazard) සහ ක්ලිපර්ඩ් චාන්ස් (Clifford Chance) උපදේශක සමාගම් එම ණය හිමියන්ගේ කමිටුව සමඟ සාකච්ඡා කරගෙන යනවා.

දෙපාර්ශවය මඟින් ඉදිරිපත් කරන ලද යෝජනා පදනම් කරගෙන සාකච්ඡා සාර්ථකව සිදුකරමින් සිටිනවා. අපගේ අපේක්ෂාව මෙම වසර මැද වන විට දී මෙම සියළු සාකච්ඡා නිම කර ගැනීමටයි. ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අවසන් අරමුණ වන්නේ අපගේ සමස්ත ණය ප්‍රමාණය 2032 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 95 ක් දක්වා අඩු කර ගැනීමත්, රජයේ දළ මූල්‍ය අවශ්‍යතාවය වාර්ෂිකව සියයට 13 ක මට්ටමකට ගෙන ඒමත්, විදේශ ණය සේවාකරණය වාර්ෂිකව සියයට 4.5 නොඉක්මවීමටත් කටයුතු කිරීමයි. මේ ඉලක්කවලට අප යා යුතුයි. ණය ගෙවන්නත්, අලුතින් ණය ගැනීමටත් අවශ්‍යයි.

ණය තිරසරභාවය අත්කර ගත හැක්කේ මේ අයුරින් පමණයි. ණය තිරසරභාවය තහවුරු කර ගැනීමෙන් තොරව රටේ ආර්ථිකය දිගු කාලීන පදනමින් ඉදිරියට ගෙන යාමට හැකියාවක් නෑ. IMF ආයතනයේ සහයෙන් සිදු කරන ලද රාජ්‍ය පාලන විමර්ශන වාර්තාව (Governance Diagnostic Report) පාදක කර ගෙන දූෂණ විරෝධී වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අප මේ වන විට මුලපුරා තියෙනවා.

දැනටමත් කැබිනට් මණ්ඩලයට එම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙනවා.

අප ක්‍රියාත්මක කළ ආර්ථිකය යළි පණ ගැන්වීමේ වැඩසටහන ඔස්සේ ලැබෙන ප්‍රතිඵල හරහා ජනතාවට සහන ලබා දීමට අපගේ රජය පසුගිය අවුරුදු දෙක තිස්සේම කටයුතු කර තිබෙනවා. අස්වැසුම වැඩසටහන හා අනෙක් සහන වැඩසටහන් යටතේ රටේ දිළිඳු ජන කණ්ඩායම්වලට සෘජුව විශාල මුදල් ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කළා. වකුගඩු රෝගීන්, වැඩිහිටියන් හා ආබාධිත පුද්ගලයන් වෙත ලබා දුන් දීමනා 2024 අප්‍රේල් මස සිට සියයට 50කින් වැඩි කර තිබෙනවා.

කලින් පැවැති සමෘද්ධි සහනාධාරය මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි මුදලක් මෙම වැඩසටහන යටතේ දිළිඳු කොටස් වෙත ලබා දෙනවා. මෙම සහන වැඩසටහන් සඳහා 2024 වසර තුළදී රුපියල් බිලියන 205ක් වැය කෙරෙනවා.

මුලින්ම ශ්‍රී ලංකාවේ සහන වැඩපිළිවෙලක් ආරම්භ කළේ දෙවන ලෝක යුද්ධ කාලයේදී යි. එතැන් පටන් මේසා විශාල මුදලක් දිළිඳු ජනතාවට කිසිදා ලබා දී නැහැ.

2022 යල කන්නයේත්, 2022/23 මහ කන්නයේත් 2023 යල කන්නයේත්, 2023/24 මහ කන්නයේත් අප අනුගමනය කළ කෘෂිකාර්මික පිළිවෙත් මඟින් සාර්ථක වී අස්වැන්නක් අපට ලැබුණා.

එම අස්වනුවලින් කොටසක් නොමිලයේ දිළිඳු ජනතාවට ලබා දීමට රජය කල්පනා කළා.

ඒ අනුව, පසුගිය වසරේත්, මේ වසරේත් සිංහල දෙමළ අවුරුදු කාලයේ දිළිදු ජන කොටස් සඳහා නොමිලයේ සහල් ලබා දීමට කටයුතු කළා. රජයට හැකි ආකාරයට දිළිඳු ජනතාව රැක බලා ගැනීමට ඉදිරියේදීත් කටයුතු කරනවා.

මේ සඳහා 2024 දී රුපියල් බිලියන 12ක පමණ මුදලක් වැය වේයැයි අපේක්ෂා කරනවා.

2024 ජනවාරි මාසයේ සිට රජයේ සේවකයන්ට රුපියල් 5000 ක මාසික ජීවනාධාරයක් ගෙව්වා. එය අප්‍රේල් මාසයේ සිට රුපියල් 10,000ක මාසික ජීවනාධාරයක් දක්වා වැඩිකළා. එමෙන්ම, අප්‍රේල් මාසයේ සිට විශ්‍රාමික රජයේ සේවකයින් හට රුපියල් 2,500 ක මාසික විශ්‍රාමික දීමනාවක් ද ලබා දුන්නා.

ජීවන වියදම පිළිබදව පුළුල්ව බලන විට මෙම දීමනා ප්‍රමාණවත් වන්නේ නෑ. නමුත්, රජයට දැරිය හැකි උපරිම මට්ටමක සහන ලබා දී තිබෙනවා.

රුපියල ශක්තිමත් වීම නිසා ආනයන භාණ්ඩවල මිල ගණන් සැලකිය යුතු ප්‍රමාණයකට පහළ යාමක් ද මෑත මාසවල දක්නට පිළිවන්. ගෑස්, ඛනිජ තෙල්, කිරිපිටි ආදී භාණ්ඩවල මිළ පහළ දැමීමට රුපියල ශක්තිමත් වීම උදව් වුණා. එමෙන්ම, පොළී අනුපාතය පහළ යාම නිසා ව්‍යවසායක අංශයට ද වඩාත් පහසුවක් ඇති වෙනවා.

වැටුප් සංශෝධනයන් පිළිබදව විවිධ ඉල්ලීම් අපට ලැබුණ ද ඒ පිළිබඳව 2024 දී කටයුතු කිරීමට තරම් රාජ්‍ය ආදායම් වර්ධනයක් දැනට නැහැ. අතීතයේ වගකීම් විරහිත ලෙස විවිධ සහන ලබා දී අපගේ ආර්ථිකයත් ජන ජීවිතයත් බිඳ දැමුවා. එවැනි තත්ත්වයකට අපට යළිත් යන්න බැහැ. සමාජයේ සෑම කොටසකටම ආර්ථික අර්බුදයේ පීඩාව තිබෙනවා. සමාජයේ සෑම ජන කොටසක්ම ඉතා කටුක මාවතක පසුගිය වසර දෙක තිස්සේ ගමන් කොට තිබෙනවා.

2024 ආර්ථිකය වර්ධනය වන ස්වරූපය මෙන්ම රාජ්‍ය ආදායම් වැඩිවන ආකාරය පදනම් කරගෙන රාජ්‍ය අංශයේ වැටුප් පිළිබඳව යළි සලකා බැලීමක් කළ හැක්කේ ලබන වසරේ දී යී. ඒක තමයි ඇත්ත.

දැන් අප ක්‍රියාත්මක කරන ආර්ථික වැඩපිළිවෙලින් පිට පැන්නොත් යළිත් අප ඇද වැටෙන්නේ මහා විනාශයකටයි. 2022 සැප්තැම්බර් මස සිට IMF වැඩසටහන යටතේ අප ක්‍රියාත්මක කරන ලද වැඩසටහන ඔස්සේ දැනට සාධනීය ප්‍රතිලාභ රැසක් අත්කරගෙන තිබෙනවා.

ආර්ථික ස්ථායීකරණ හා ප්‍රතිසාධන වැඩපිළිවෙලින් ඔබ්බට ගොස් තිරසර මාවතකට අපගේ ආර්ථිකය පරිවර්තනය කළ යුතුව තිබෙනවා. ඒ සඳහා විධිමත් හා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අප අදිටන් කර ගත යුතුයි.

අප තවම විදේශ ණය ගෙවන්නේ නැහැ. ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසානයේ දී අප ණය ගෙවීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා රාජ්‍ය ආදායම් වැඩි කර ගත යුතුයි.

එමෙන්ම විදේශ විනිමය සංචිත ගොඩනගා ගත යුතුයි. හැමදාම විදේශ ණය ලබාගෙන රටේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතා නිර්මාණය කිරීමට තවදුරටත් ඉඩ තබන්න බෑ. එහෙම කළොත් සිදුවන්නේ රටේ ඉදිරි පරම්පරාව උගසට තැබීමක්.

රටේ තිබෙන සම්පත් නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන නාස්ති නොකර කාර්යක්ෂම කළමනාකරණයක් ඔස්සේ ආර්ථිකය සාධනීය පරිවර්තනයකට ලක් කළ යුතුයි.

විදේශ ගණුදෙණු මත බහුලව ක්‍රියාත්මක වන කුඩා ආර්ථිකයක් බැවින් අප අපනයන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

එමෙන්ම, මෙහි දී පරිසරය ආරක්‍ෂා වන අයුරින් හරිත ආර්ථිකයක් කෙරෙහි ද අවධානය යොමු කළ යුතුයි. තොරතුරු තාක්ෂණය ඇතුළු නව තාක්ෂණික අංග ආර්ථික ක්‍රියාකාරකම් වලට බද්ධ කළ යුතුයි.

එසේ නොමැතිව ආර්ථිකයක් දිගු කාලයක් පුරාවට තිරසාරව පවත්වා ගෙන යා නොහැකියි. ආර්ථික ප්‍රතිසංස්කරණවලින් ලැබෙන ප්‍රතිලාභ සමාජයේ සෑම කොටසකටම නිසි ලෙස බෙදී යාම කේන්ද්‍ර කර ගත් සමාජ-වෙළඳපල ආර්ථික පදනමක් අප සකසා ගත යුතුයි.

අපගේ ආර්ථික ශක්තිය වැඩි කර ගැනීම සඳහා වේගවත් ආර්ථික වර්ධන මාවතකට අවතීරණ විය යුතු යි. ඉහළ ආර්ථික වර්ධනයක් සමග අපගේ ණය බර සැහැල්ලු වෙනවා. ඒ විතරක් නෙවෙයි ජීවන වියදමත් අඩු වෙනවා.

ජනතාවට දිගින් දිගටම බර පටවන පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර තවදුරටත් ගෙන යාමට අපේ ආර්ථිකයට හැකියාවක් නැහැ. මේ සඳහා විකල්ප වැඩපිළිවෙලක් දැනට රජය යෝජනා කර තිබෙනවා.

පුද්ගලික අංශයේ මැදිහත් වීමෙන් රාජ්‍ය ව්‍යාපාර සාර්ථකව ක්‍රියාත්මක කළ හැකිනම්, ජනතාවට බදු බර පටවා පාඩු ලබන එම රාජ්‍ය ව්‍යාපාර දිගින් දිගටම එලෙසම කරගෙන යා යුතු නැහැ.

රටේ විශාල ඉඩම් ප්‍රමාණයක් නිසි ඵල ප්‍රයෝජනයක් නොගෙන වල්වැදී ජනතාවට බරක් වෙමින් රජය යටතේ තිබෙනවා. අතීතයේ දී එම ඉඩම් පුද්ගලික අංශය විසින් සාර්ථක කාෂිකාර්මික ව්‍යාපාර ලෙස පවත්වාගෙන ගියා. එවකට රජයට විශාල ලෙස ආදායම් ලැබුණේ එම ව්‍යාපාරවලින්. රටට විශාල වශයෙන් විදේශ විනිමය ලැබුණේ ද එම ව්‍යාපාරවලින්.

එම නිසා වාණිජ වශයෙන් ක්‍රියාත්මක අපනයන කෙරේ යොමු වුණු දේශීය පුද්ගලික අංශය මැදිහත් කර ගත් වාණිජ අපනයන කෘෂි ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමට මූලික පියවරක් අප ගෙන තිබෙනවා.

1930 ගණන්වලින් පසු ගොවි පවුල් ලක්ෂ 20 කට පමණ තම ඉඩම් අයිතිය ලබා දීමේ උරුමය වැඩපිළිවෙල ඉතා සාර්ථකව ඉදිරියට යනවා. මෙමඟින් ඉඩම්වල පූර්ණ සින්නක්කර අයිතිය ඔවුන්ට ලැබෙනවා. මෙම වැඩසටහන පාදක කරගෙන ශ්‍රී ලංකාව පුරා දහස් ගණන් කෘෂි ව්‍යාපාරිකයන් ඉදිරියේ දී බිහි වීම වළක්වන්නට බැහැ.

එමෙන්ම, පවත්නා කෘෂි ඉඩම්වලින් ඉහළ මට්ටමින් ප්‍රයෝජනයක් ගැනීමට කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ඒ අනුව, කෘෂිකාර්මික ඵලදායීතාවය වර්ධනය කිරීම පදනම් කරගෙන කෘෂිකර්ම නවීකරණ වැඩසටහනක් දියත් කර තිබෙනවා. නවීන තාක්ෂණය පදනම් කරගෙන ගොවි ජනතාව ශක්තිමත් කිරීම මෙම වැඩපිළිවෙලේ එක් අරමුණක්.

දැනට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 26 ක මෙම වැඩපිළිවෙල දියත් කර තිබෙනවා. ඉදිරි මාස කිහිපය තුළ තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 75 ක් මෙම වැඩපිළිවෙලට එකතු කරනවා. ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉතාමත් ශක්තිමත් අංශයක්ව තිබූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් බොහොමයක් ආර්ථික අර්බුදය මධ්‍යයේ අකර්මන්‍ය වුණා. එම ව්‍යාපාර වසා දැමුවා. ඒවා යථා තත්ත්වයට පත් කිරීමට වැඩපිළිවෙලක් දැන් සකස් කොට තිබෙනවා.

මේ සඳහා විශාල ආයෝජනයක් කිරීමට රජය දැනටමත් කටයුතු කර තිබෙනවා. ණය යෝජනා ක්‍රම රැසක් සංවිධානය කර තිබෙනවා. පරාටේ නීතිය සංශෝධනය කොට කෙටි කාලයක් තුළ මෙම අංශයට තවත් සහනයක් ද ලබා දී තිබෙනවා. මහා භාණ්ඩාගාරය තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් පිළිබඳ විශේෂ ඒකකයක් ද ස්ථාපනය කර එම කටයුතු සම්බන්ධීකරණය කරනවා.

සංචාරක ව්‍යාපාරය ඉතා වේගයෙන් ඉදිරියට යන ව්‍යාපාරයක් බවට පත් වී තිබෙනවා. 2023 පළමු මාස 04 හා සසදන විටදි 2024 පළමු මාස 04 තුළ සංචාරකයින්ගේ පැමිණීම සියයට 75 ට වඩා වැඩි වර්ධනයක් තිබෙනවා. අද වන විට මේ වර්ෂය තුළදි ලක්ෂ 8කට ආසන්න සංචාරකයන් සංඛ්‍යාවක් ලංකාවට පැමිණිලා තියෙනවා. සංචාරක කර්මාන්තයට අවශ්‍ය යටිතල පහසුකම් නැංවීමට රජය, පුද්ගලික අංශය ද මැදිහත් කරගෙන පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.

අපගේ විදේශ ආයෝජන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම දිගු කාලීන ආර්ථික වර්ධන ක්‍රියාවලියක අත්‍යවශ්‍ය අංගයක්. අප රට තුළින් මතුකර ගත හැකි ආයෝජන සීමා සහිත නිසා විදේශ ආයෝජන රටට ගලා ඒම සඳහා විධිමත් නීති හා නවීන ආයතනික රාමුවක් අවශ්‍යයයි. ඒ සඳහා දැනට ක්‍රියාත්මක පැරණි ආයතන රැසක් ඒකාබද්ධ කොට නව ආර්ථික කොමිසමක් ස්ථාපිත කිරීම අපගේ අපේක්ෂාවයි.

එමෙන්ම, පැරණි නීති වෙනුවට ඒකාබද්ධ කළ නව නීතියක් ද ආයෝජන වෙනුවෙන් සකස් කර තිබෙනවා. ඒ සඳහා මෙම මාසයේදීම අවශ්‍ය කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරනවා. රටේ වේගවත් ආර්ථික වර්ධනයක් සඳහා නවීකරණය කළ යුතු ක්ෂේත්‍ර රැසක් තිබෙනවා.

අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, වෘත්තීය පුහුණු අධ්‍යාපනය, නගර සංවර්ධනය, ආරක්ෂක අංශය, තොරතුරු තාක්ෂණය, විදේශ සබදතා, සැපයුම් ජාල, අපනයන කර්මාන්ත, ශ්‍රම බලකාය ආදිය ඒ අතරට එනවා. විදුලිබල ක්ෂේත්‍රයේ සමස්ත වර්ධනය අරමුණ කර ගෙන සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ප්‍රවේශයක් ලබා ගෙන තිබෙනවා.

අපගේ විදේශ සබඳතා ජාලය ආර්ථික කටයුතු පාදකව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරනවා. ජාත්‍යන්තර වෙළදාම පිළිබඳ ආයතනයක් විදේශ කටයුතු අමාත්‍යාංශය තුළ ස්ථාපිත කිරීමට අදාළ මූලික වැඩකටයුතු සිදුකර තිබෙනවා. ඒ සඳහා නව නීතියක් ද සකස් කර තිබෙනවා.

රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ අරමුණු කර ගනිමින් නව නීති හා නීති සංශෝධන 30 කට වැඩි සංඛ්‍යාවක් පසුගිය වසර දෙකක කාලය තුළ මෙම පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙනවා. එමෙන්ම නොබෝ දිනකින් එවැනිම වූ නීති රැසක් මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා. ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත (Economic Transformation Bill), රාජ්‍ය මූල්‍ය පනත් කෙටුම්පත (Public Finance Bill) හා රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත (Public Debt Management Bill) ඒ අතර ප්‍රමුඛස්ථානයක් ගන්නවා.

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව, ආයෝජන යටිතල පහසුකම් සංස්ථාව, ජාත්‍යන්තර වෙළඳ ආයතනය, ජාතික ඵලදායිතා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ආර්ථික හා වෙළඳ ආයතනය ආවරණය ඇතුළත් වෙනවා. දිගුකාලීනව රජයක් විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග රැසක් ආර්ථික පරිවර්තන පනතේ ඇතුළත් කර තිබෙනවා.

කුමන ආණ්ඩුවක් අනාගතයේ බලයට පැමිණිය ද මෙම ආර්ථිකය යළිත් අගාධයකට ඇද නොදැමීමට එම පනතේ ප්‍රතිපාදන අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට කටයුතු කළ යුතු වෙනවා. අප රට මුහුණ දී තිබෙන අර්බුදය විසඳීමටත්, යළිත් මෙවැනි ඛේදවාචකයකට රට පත් නොකිරීමටත්, පොදුවේ එකඟ වන දිගුකාලීනව හා අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙලක් අවශ්‍ය බව මා දිගින් දිගටම කියා තිබෙනවා. මේ දක්වා අප සිදු කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණවලට විපක්ෂය විවේචනාත්මක සහාය ලබා දී තිබෙනවා.

ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට එවැනි සහයක් ඉදිරියේදීත් අවශ්‍යයි. පසුගිය වසර දෙක තිස්සේ රජය ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට විවිධ දුක්කම්කටොලු මැද ජනතාවත් සහාය ලබා දී තිබෙනවා.

ගිනිවැදුණු ආර්ථිකයක සිට ස්ථාවර ආර්ථිකයක් කරා මේ යන ගමනේ දී අත්කර ගත් ප්‍රගතිය නිසා මීට අවුරුදු දෙකකට කලින් තිබුණු තැනට වඩා අද රට ඉහළට එසවී තියෙනවා. මේ ප්‍රගතිය ඉවසන්න අමාරු සමහර කණ්ඩායම් අප මේ ගත කරන්නේ අපායේ ඉන්ටවල් එකක් කියා පාච්චල් කරනවා. මම ඒ ගැන මෙහෙම කියන්නම්.

ඔව්, අපි හිටියේ ආර්ථික අපායක. දැන් අපි ක්‍රමවත් සැලසුම් ඔස්සේ මේ අපායෙන් ගොඩ එමින් ඉන්නේ. හැබැයි දුර දැක්මක් නොමැතිව කෙටිකාලීන පටු අපේක්ෂා ඉලක්ක කරගෙන දැනට යන ගමනේ පීල්ල මාරු කළොත් ආපහු අපි වැටෙන්නේ අපායට. එහෙම වුණොත් දීර්ඝ කාලයක් පුරා දිවෙන අතිශය දුක්ඛිත කාලයකට මුහුණ දීමට අප සැමට සිදුවෙනවා.

අප මෙතෙක් සිදු කර ගෙන ආ වැඩපිළිවෙල සාර්ථක බව ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් දවසින් දවස ඒත්තු ගනිමින් සිටීම යහපත් කරුණක්. අවුරුදු සමයේ සමූපකාර අලෙවිහල් වල සෙනග පොදි කන පින්තූර දමා ඒ සමූපකාරවල ආදායම් දිනෙන් දින වැඩිවෙන බව දක්වන අදහස් අප සමාජ මාධ්‍ය ජාලාවන්හි දැක්කා.

යම් යම් දේශපාලන අරමුණු වෙනුවෙන් තමයි ඒ පින්තූර සහ අදහස් දාලා තිබුණේ. නමුත් එයින් පිළිබිඹු වෙන සත්‍යය තමයි ජනතාව මීට අවුරුදු දෙකකට කලින් සිටි තත්ත්වයට වඩා යහපත් තත්ත්වයක ඉන්නවා කියන එක. එදාට වඩා තරමක් හෝ අතමිට සරු බව.

මම මේ රට වෙනුවෙන් අභියෝගාත්මක මෙහෙවර භාර ගත් අවස්ථාවේ මට ගමන් කරන්නට සිදු වී ඇත්තේ වැල් පාලමක බව මම සඳහන් කළා. ඒ අවස්ථාවේ එය ගණන් නොගත් අය පවා අද ඒ බව පිළිගන්නවා. ඒකෙන් පේන්නේ වැල් පාලම මග හැර අපට වෙන විකල්පයක් නැහැ. මේ මග හැර වෙන මගක් නොමැති බව ඒ අයත් අද පවසනවා.

මම නැවතත් කියනවා. අපේ ආර්ථිකය යළි ගොඩනංවන්නට මේ මග හැර වෙනත් මගක් නැහැ. මේ වැඩපිළිවෙල හැර වෙනත් වැඩපිළිවෙලක් නැහැ. මේ සැලසුම හැර වෙනත් සැලසුමක් නැහැ. අන්න ඒ නිසා තමයි, මේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල පිළිබඳ පොදු එකඟතාවයක්, පොදු සම්මුතියක් අවශ්‍ය බව මම හැමවිටම කියන්නේ.

ඒ සම්මුතියට එළඹිය යුත්තේ මේ සභාවේ සිටින මහජන නියෝජිතයින් පමණක් නෙවෙයි. ආගමික නායකයින්, වෘත්තීය සමිති, වෘත්තීයවේදීන්, ව්‍යාපාරික ප්‍රජාව, රාජ්‍ය නොවන සංවිධාන, විවිධ මතධාරී නායකයින්, සමාජ බලපෑම් කළ හැකි පුද්ගලයින් ආදී සියළු දෙනාම මේ පොදු සම්මුතියට, මේ පොදු එකඟතාවයට එකතු විය යුතුයි.

එකඟත්වයකින් හා සම්මුතියකින් යුතුව ඉදිරියට ගියොත් අපට ලෝකය තුළ සංවර්ධිත රටක් ලෙස කඩිනමින්ම හිස ඔසවන්නට පුළුවන්.

එහෙම නැතුව මේ අසීරු අවස්ථාවේ රට වෙනුවට තමන් ඉදිරියට දාගෙන කටයුතු කරන්න ගියොත් එම ගමන විශාල විනාශයක ආරම්භය වෙන්නත් පුළුවන්. ඒ අනතුරු හැගවීම කරමින් රට වෙනුවෙන් පොදු එකඟතාවයකට හා පොදු සම්මුතියකට එළඹෙන මෙන් ඔබ සැමගෙන් යළිත් ඉල්ලා සිටිනවා.

රට ගොඩගන්න රටේ අනාගත පරපුර වෙනුවෙන් යමක් කරන්නට අපට ලැබෙන මේ අවස්ථාව පැහැර හරින්න එපා. අප සියළු දෙනාම එකතුවෙලා මේ මල් වට්ටියට අත ගහමු. අපි අද කටයුතු කරන ආකාරය ගැන අනාගතයේ දවසක අපිව විනිශ්චයට භාජනය වේවි.

එදාට අපි රටට ද්‍රෝහිකම් කළ අය ලෙස හංවඩු ගසා ගන්නවා ද ? නැතිනම් රටට ආදරය කළ පිරිසක් ලෙස හඳුන්වා ගන්නවා ද ? අද අපි ගත යුතු තීරණය එයයි.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.