පළමු අරගලය අවසන් අතර රට ගොඩනගන දෙවන අරගලය මෙතැන් සිට අරඹමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ සඳහා සියලු පක්ෂවලට කිසිදු බේදයකින් තොරව එක්වන ලෙස ආරාධනා කරන බව පැවසූ ජනාධිපතිවරයා ඒ තමන් වෙනුවෙන් නොව මතු පරපුර වෙනුවෙන් බලවත් රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට බවත් කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (06) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය අමතමිනි.
ඉදිරි වසර 25ක කාලය තුළ ණය නැති බලගතු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක් ඔස්සේ කටයුතු කළ යුතු බවත්, වසර පහෙන් පහට වෙනස් නොවන ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක් සහිත මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
‘එක්ව රට ගොඩනගමු’ යන්න මෙවර එක්සත් ජාතික පක්ෂ සංවත්සරයේ ප්‍රධාන තේමාව විය.
මෙවර විශේෂත්වය වනුයේ රාජ්‍ය නායකත්වයක් සහිතව එක්සත් ජාතික පක්ෂය සංවත්සර උත්සවයක් පවත්වන්නේ වසර 28කට පසුව වීමයි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව පවත්වන පළමු සංවත්සරය මෙය වීමද විශේෂත්වයකි.
රට ගොඩනැගීම සඳහා සියලු දෙනා එක්වීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන සියලු පක්ෂ නායකයන්ට පක්ෂ සංවත්සරයට සහභාගීවන ලෙස විවෘත ආරාධනයක් කර තිබූ අතර, ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්රමුඛ සෙසු පක්ෂ නායකයෝ රැසක් සංවත්සර උළෙලට සහභාගී වූහ.
ඊ. පී. ඩී. පී. නායක ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, මුස්ලිම් කොංග්‍රසයේ නායක සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, ජාතික මුස්ලිම් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි, සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර්, ජාතික කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල්. එම්. අතාවුල්ලා ඇතුළු දේශපාලන නායකයෝ පිරිසක් සෙසු පක්ෂ නියෝජනය කරමින් සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණ සිටියහ.
සමගි ජනබලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරිපත්ව රජයේ අමාත්‍යධූර ලබාගත් ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර යන මහත්වරුද සංවත්සර උත්සවයට පැමිණ සිටියහ.
උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණි සියලු ජාතීන්ට අයත් ජනතාවගෙන් ක්‍රීඩාංගණය අතුරු සිදුරු රහිතව පිරී ගොස් තිබිණ. ෙ
පක්ෂ නායක හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්රාප්තියත් සමඟ සංවත්සර උත්සවය අභිමානවත් අයුරින් ආරම්භ කෙරුණු අතර, පක්ෂයේ ආදීකර්තෘ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ සිට ආදී නායකයන්ගේ පිළිරුවලට පුෂ්පෝපහාර දක්වමින් ගෞරවය පළ කිරීම ද සිදු විය.
එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ ඩී. එස්. සේනානායක මහතාගේ පිළිරුවට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද, ඩඩ්ලි සේනානායක මහතාගේ පිළිරුවට නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාද, ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ පිළිරුවට පක්ෂ උපනායක නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ද, ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පිළිරුවට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ද , ආර්. ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ද, ඩී.බී. විජේතුංග මහතාගේ පිළිරුවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ද පුෂ්පෝපහාර දැක්වූහ.
පක්ෂයේ ආදි නායකයන්ට පුෂ්පෝපහාර දක්වන අවස්ථාවේ දී ජනතාව ද අසුන්වලින් නැගී සිටිමින් සිය ගෞරවාචාර පුදකරන අයුරු දැක ගත හැකි විය.
ජාතික සමගියේ අගය විදහා පෙන්වමින් සිංහල හා දමිළ යන භාෂා ද්විත්වයෙන්ම ජාතික ගීය ගායනා කළ අතර පක්ෂයේ අභිමානය විදහා දැක්වෙන විඩියෝ දර්ශන පෙළක් ද එහිදී ප්‍රදර්ශනය කෙරිණි. දේශීය සංස්කෘතිය ඔප්නැංවෙන වාද්‍ය භාණ්ඩ සංදර්ශනයකින් සහ ගීතමය විශේෂාංගවලින් ද සංවත්සර උළෙල අලංකාරවත් විය.
හිටපු මුදල් අමාත්‍ය රොනි ද මෙල් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සංවත්සරය වෙනුවෙන් සිය සුභාශිංසන එක් කළහ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජාතික සංවිධායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, උපනායක අකිල විරාජ් කාරියවසම්, හිටපු අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, රවී කරුණානායක, නවීන් දිසානායක, දයා ගමගේ, ඩී. එම්. ස්වාමිනාදන් සහ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානානායක යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ,
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
“අපි අද සිහි කරන්නේ අපේ පක්ෂය හැදූ නායකයින්. ඩී.එස්. සේනානායක මැතිතුමා, ඩඩ්ලි සේනානායක මැතිතුමා, ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා, ජේ.අර්. ජයවර්ධන මැතිතුමා, ආර්. ප්‍රේමදාස මැතිතුමා, ඩී.බී. විජේතුංග මැතිතුමා මේ අය තමයි මේ පක්ෂය හැදුවේ, මේ අය තමයි මේ රට හදන්න ක්‍රියා කළේ.
ඒ අයගෙන් ඉගෙනගෙන තමයි අද මම මෙතැනට ඇවිල්ලා තිබෙන්නේ, මම අද කතා කරන්නේ මේ පක්ෂයෙන් බිහි වුණ හතරවන ජනාධිපතිවරයා හැටියටයි. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක්ට වඩා වෙනස් තත්ත්වයක් මට තියෙන්නේ. මට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමක් නැහැ. අද අපි සියලු දෙනා එකතුවෙලා මේ ආණ්ඩුව ගෙනියන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු තවත් පක්ෂ ගණනාවක සහයෝගයෙන් මෙම ආණ්ඩුව ගෙනියනවා.
අද රට විශාල අර්බුදයකට මුහුණ දී තිබෙනවා. මම හිත්නනේ නැහැ මේ රටේ ඉතිහාසයේ මීට පෙර මෙ වැනි අර්බුදයක් තිබුණා කියලා. අද ආර්ථිකය කඩා වැටිලා. අන්න එතනට තමයි අද අපට විසඳුම් සොයන්න තිබෙන්නේ. මේ අර්බුදය මැදටයි මම ඇවිල්ලා තිබෙන්නේ. අනිත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු හැටියට, ජනාධිපතිවරු හැටියට තනතුරු දෙන්න මට අද තැනක් නැහැ.අද ජනතාව පීඩනයෙන් ඉන්නේ. සමහර අයට තුන් වේලක් කන්න බැරි තැනකට පත් වෙලා. විරැකියාවෙන් ඉන්නේ. මට ඔබට දෙන්න පුළුවන් දහඬියයි, මහන්සියයි, විවේචනයයි. අපේ දහඬියෙන්, මහන්සියෙන් අපි සියලු දෙනා යළිත් මේ රට නියත වශයෙන් ගොඩනගනවා කියලා මම බය නැතිව ප්‍රකාශ කරනවා.
ගිය අවුරුද්දේ අපේ සංවත්සරය පැවැත්වුයේ සූම් තාක්ෂණය ඔස්සෙයි. එදා සහභාගීවුණ අයට මම කිව්වා අද මේ රටේ තරුණ තරුණියන් වත්මන් දේශපාලනය පිළිකුල් කරනවා. ආණ්ඩුව රට රවට්ටනවා. විපක්ෂය විවේචනයට සීමා වෙලා තිබෙනවා. ජනතාව රටක ප්‍රතිපත්ති දේශපාලනයක් බලාපොරොත්තු වෙනවා. නවීන දේශපාලනයක් ජනතාව බලාපොරොත්තු වෙනවා කියා. නමුත් අපි කවුරුත් ඒක අනුගමනය කළේ නැහැ. අන්තිමට පීඩනය වැඩිවෙලා මේ රටේ තරුණ තරුණියන් අප්‍රේල් මාසයේ අරගලය ආරම්භ කළා.
එය සාමකාමී අරගලයක්. ඒ අයගේ දක්ෂතා පෙන්නුවා. ඒ අයගේ හැකියාව පෙන්නුවා. ඒ අයට වුවමනා ඉල්ලීම් මොනවද කියලා ප්‍රකාශ කළා. මේ සියල්ලට අපි එකග වුණත්, නැති වුණත් අගය කළා. පළවෙනි වතාවට තරුණ තරුණියන් තුවක්කු අරගන්නේ නැතිව රටට වෙනසක් වුවමනායි කියලා ප්‍රකාශ කළා. එවැනි ව්‍යාපාර හොඳ හිතින් ගෙන යන එක අමාරුයි. මොකද ඒක ඇතුලේ ප්රචණ්ඩත්වය මුල්කරගෙන පෙරටුගාමීන් ඉදිරියට ආවා. ප්රචණ්ඩත්වය රජ කළා.
ජූලි 09ත් 13ත් අතර රටේ පාලනය නවත්තලා පාර්ලිමේන්තුව අල්ලගන්න ක්‍රියා කළා. මේක අසාර්ථක වුණහාම ඒ සමගම ඒ අරගලයත් නැති වුණා. ඒකේ නරක නිසා හොඳත් නැති වුණා. ඒත් අරගලය මෙතැනින් නැති වුණාට ඒ තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු නැති වෙලා නැහැ. ඒවා ඉදිරියට ගෙනයනවා. ඔවුන්ගේ ඒ බලාපොරොත්තු අප ඉටුකළ යුතුයි.
මේ කාල සීමාව තුළදී ආණ්ඩුවක් ලෙස 22 වෙනි සංශෝධනය අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒක සම්මත කරගන්න ඕන. අපි එතැනින් අවසන් කරන්නේ නැහැ. ව්‍යවස්ථාව තවත් සංශෝධනය කරන්න තිබෙනවා. විශේෂ ජනාධිපති කොමිෂම් ඉවත් කරන්න තිබෙනවා. ව්‍යවස්ථාවට පටහැනි නීති සම්මත කරන බලය ඉවත් කරන්න තිබෙනවා.
ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරන්න තවත් කරුණා ගණනාවක් තිබෙනවා. අපේ ව්‍යවස්ථාව ඒ අනුව සංශෝධනය විය යුතුයි. අපි අධීක්ෂණ කමිටු ආරම්භ කර තිබෙනවා. ආණ්ඩු පක්ෂයෙත්, විපක්ෂයේත් මන්ත්‍රීවරු සභාපතිකම් ලබා ගන්නවා. උප කමිටුවල සභාපතිධූර ලබා ගන්නවා. ඒ මන්ත්‍රීවරුන්ට වගකීම් ලබා දිය යුතුයි.
දැන් පක්ෂ නායකයින් ඒ පිළිබද කථානායකතුමා සමග සාකච්ඡා කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුව මුදල් පාලන බලය ශක්තිමත් කර තිබුණා. ඊට අමතරව කෝප්, කෝපා කමිටු, රජයේ මුදල් කමිටුවට අමතරව තවත් කමිටු 03ක් අපි පත් කරනවා, විශේෂයෙන්ම රජයට ආදායම් ලබා ගැනීම, බැංකු පිළිබඳ පරීක්ෂා කිරීම, රාජ්‍ය ව්‍යපාර ප්‍රතිව්‍යුහගත කරන්න. පාර්ලිමේන්තුවට වෙනම අයවැය කාර්යාලයක් ලබා දෙනවා.
මේ හැම එකකටම වඩා වැදගත් එකක් තමයි “ජාතික සභාව” පක්ෂ නායකයින්ගෙන් යුතු මණ්ඩලයක් එකතු වෙලා අවම වැඩසටහනකට අපි එකතු වෙන්න. අගමැතිවරයා මට කිව්වා මේ සතියේ කතා කරලා ඒක අවසන් කරන්න කියලා. පාර්ලිමේන්තුව ඒ ගැන කටයුතු කරන හැටි මම බලාගෙන ඉන්නවා.
ඒ එක්කම තව අලුත් නීති ගේනවා. ත්‍රස්තවාදය මැඩලීමේ පනත වෙනුවට අලුත් නීතියක් ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ එක්කම සත්‍ය කොමිෂම පිළිබඳ අලුත් නිතියක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, සමානාත්වය සහ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනතක් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. රජයේ තට්ටු නිවාස ලබාදෙන්න, ඉඩම්වලට සින්නක්කර ඔප්පු ලබා දෙන්න නව නීතියක් ඉදිරිපත් කරනවා. දේශගුණික විපර්යාස අවම කිරීමේ අලුත් නීතියක් ගෙන්න බලාපොරොත්තු වෙනවා.
යොවුන් පාර්ලිමේන්තුව නීතිගත කරනවා. මේවා මර්දනයන්ද, මේවා ඔක්කොම ගේන්නේ රට ශක්තිමත් කරන්න. අලුත් පාලනයක් ඇති කරන්න. මේ හැම එකකටම වඩා වැදගත් යෝජනාව තමයි ජන සභාව. අපේ හිටපු කථානායක කරූ ජයසූරිය මහතාත් යෝජනා කරලා තිබෙනවා ඒ යෝජනාවේ පිළිඅරගෙන තිබෙනවා.
මේ රටේ දේශපාලනයෙන් තොරව ජනතාවට වැඩකටයුතුවලට සහභාගී වෙන්න සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකටම ජන සභාවක් ඇති කරන්න ඕන. ප්‍රේමදාස ජනාධිපතිතුමා ග්‍රාමෝදය මණ්ඩලය යෝජනා කළා. දේශපාලනයෙන් තොරව රටේ පාලන කටයුතුවලට සහභාගීවෙන්න ජන සභාවක් ඇති කරන්න කියලා ප්‍රේමදාස ජනාධිපතිතුමන් යෝජනා කළා. එ වගේම ග්‍රාම සේවා වසම් 14,000න් අදහස් ලබාගෙන රට සංවර්ධනය කරන්න පුළුවන්. ව්‍යවස්ථාව ගැන, නීති ගැන තමන්ගේ ගම ගැන මෙහිදී අදහස් ලබාගන්න පුළුවන්.
ඒක විශාල වැඩ කොටසක්. මේක ස්වෙච්ඡාවෙන් කරන එකක්. මේ ව්‍යාපෘතියට ආණ්ඩුවේ සහයෝගය ලබාදනේන මම බලාපොරොත්තු වෙනවා. කැමැති නම් මේ පිළිබඳ නීතියක් වුණත් සම්මත කළ හැකියි.
දේශපාලනය දේශපාලනඥයින්ට පමණක් සීමා කරන්න එපා. රටේ ප්‍රධාන වැඩකටයුතු දේශපාලනයෙන් තොරව ජනතාව එකතු වෙලා කරමු. අද බොහෝ දෙනෙක් කියන්නේ වෙනසක් ඕන කියලා, ක්‍රමවේදය වෙනස් කරන්න කියලා මොකද්ද අපි කරන්නේ. ටිකදෙනකේ එකතු වෙලා මේ පිළිබඳ කතා කරනවාද නැතිනම් සියලුදෙනාම එකතුවෙලා රටේ ප්‍රශ්නවලට විසඳුම් හොයනවාද කියන එකයි වැදගත්. මුළු ගමම එකතු කරගෙන කරනවාද කියලා හිතන්න ඕන. පක්ෂ නැති අය එක්සත් ජාතික පක්ෂයේ, පොහොට්ටුවේ අය මේ සියලු දෙනා එකතු කරගෙනයි ගම් 14,000 ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතුයි. අපි ප්‍රශ්න අහන්නම් ඒ ප්‍රශ්නවලට පිළිතුරු ඔබ ලබාදෙන වැඩසටහනක් අප ක්‍රියාත්මක කරනවා. ඒක විශාලම වෙනසයි. තවත් යෝජනා ගණනාවක් තිබෙනවා. ඒ වගේම අපේ ආර්ථිකය ගැන හිතන්න ඕන.
තෙල් නැතුව, විදුලි බලය නැතුව අපි අමාරු කාලයක ඉන්නේ. අපි තවමත් එයින් නිදහස් වෙලා නැහැ. අපිට ඉන්ධන, පොහොර, බීජ හොයලා දෙන්න පුලුවන්. ඒත් මේකෙන් අවසන් වෙන්නේ නැහැ. ඊළග පියවර විදියට IMF සංවිධානයෙන් අපි ආධාර අරගෙන තිබෙනවා. ඊට පස්සේ ණය දුන්න රටවලින් සහන ගන්න තිබෙනවා. මේ සියල්ල සමග ආහාර සුරක්ෂිත වැඩසටහනට අනුව අපි ග්‍රාම නිලධාරී කොට්ඨාස 14,000 වගා ව්‍යාපාරයක් ගෙනියනවා. ඒ ආහාර නොමැති සියලු දෙනාට ආහාර ලබා දිය යුතුයි.
විශේෂයෙන්ම බස්නාහිර පළාත තුළ වගා කිරීම අපහසුයි. ඒ හිඟය පියවීම සඳහා අප වෙනත් දිස්ත්‍රික්ක නම් කරලා තිබෙනවා, බස්නාහිර පළාතට හිඟ ආහාර සපයා දීම සඳහා. මෙවර මහ කන්නයට පොහොරත් දෙනවා, ඉන්ධනත්, බීජත් දෙනවා කරුණාකරලා අපට ඉහළම අස්වැන්නක් ලබා දෙන්න කියා ගොවි ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා.
අපේ ආර්ථිකය දියුණු කළ යුතුයි. විදේශ විනිමය ලබා ගැනීමට තිබෙන එකම මාර්ගය තමයි සංචාරක ව්‍යපාරය. මේ රැස්වීම සංවිධානය කළ හරින් ප්‍රනාන්දු මහත්තයට භාරදීලා තිබෙනවා එම කටයුත්ත. අපි සියලුදෙනා එකතු වෙමු. මේ රටට සංචාරකයන් ගෙන්වීමට කටයුතු කරමු. අද මේ රටේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 8.5%යි. අපි බලන්නේ 2024 -2025 වන විට එය 15% කරගන්න. එයත් ප්‍රමාණවත් වන්නේ නැහැ. සෞඛ්‍ය, අධ්‍යාපනයට ඒ අවශ්‍ය මුදල් වියදම් කරන්න අපි 19%කටවත් ගමන් කළ යුතුයි. ඒ නිසා අද අපි මේ ආර්ථික ස්ථාවරභාවය ගොඩනගා ගන්නවා විතරක් නෙවේ, අපි කැමති නැහැ ණය වෙන්න. අපි සිංහල වුණත්, දෙමළ, මුස්ලිම් වුණත් අපි කැමති නැහැ බංකොළොත් වෙන්න, අපේ දෙමාපියන් අපට පුහුණු කරලා තිබෙන්නේ ණය ගත්තොත් ණය ආපහු ගෙවන්න, කොච්චර අමාරු වුණත්. අපි බය නැතුව මේ ණය ඔක්කොම ගෙවලා දාමු.
ඩී.එස්. සේනානායක මැතිතුමා පැවසුවා වගේ මින් පසු ණය නොවන ආර්ථියක් ගොඩනගමු. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අයුරින් අපි ණය නැති අලුත් ආර්ථිකයක් හදමු. ලෝකයේ තරඟකාරි ආර්ථිකයක් ඇති කර ගනිමු. අපනයන ආර්ථිකයක් ගොඩ නගා ගමු. අපි පොහොසත් වෙමු. ඇයි අපිට පොහොසත් වෙන්න බැරි.
සම්පත් තිබෙනවා. ඉදිරියට යමු. අපි අලුත් ආර්ථිකයක් හදමු. මේකට හරස් වෙන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ. අපි මේ ගමන යමු. ඇයි අපිට බැරි. ගිහින් ලෝක වෙළඳපොළ අල්ල ගන්න. ජපානයට පුළුවන් වුනානම්, කොරියාවයට පුළවන් වුනානම්, වතුර නැති සිංගප්පූරුවට පුළුවන් වුණානම්, වැලි තිබෙන ඩුබායිවලට පුළුවන් වුණානම් ඇයි ලංකාවට බැරි.
අපි දැන් වැඩ කරමු. අපි මෙතැන් සිට ඉදිරියට යමු. 2023 – 2048 කියන්නේ අවුරුදු 25යි. මේ කාලයේ දී අපි බලවත්, ධනවත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමු. අපි එය ලබන වසරේ සිට ආරම්භ කරමු. එහි අවසානය බලන්න මම නැති වෙයි. එහෙත් මට අවශ්‍යයි ඒ වන විට මෙහි සිටින තරුණ තරුණියන්ට හොඳින් ජීවත් විය හැකි අනාගතයක් ගොඩනඟා ගන්න.
අපේ ප්‍රතිපත්ති යකඩ රාමුවක් වගේ තියමු. ආණ්ඩුවෙන්, ආණ්ඩුවට, ඇමතිවරයාගෙන්, ඇමතිවරයාට වෙනස් නොවන ප්‍රතිපත්තියක් හදමු. මේ ප්‍රතිපත්ති රාමුව අවුරුදු පහේ සැලසුම් 05කින් ක්‍රියාත්මක කරමු.
ඩී.එස්. සේනානායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂය හැදුවේ රට එක්ව ගොඩනගන්න. එදා එතුමා කිව්වේ සිංහල, දෙමළ, මුස්ලිම් මේ සියලු දෙනා ශ්‍රී ලාංකික අනන්‍යතාවය පිළිගන්න කියලා. එතුමා කිව්වා අපි සිංහල වුණත්, දෙමළ වුණත්, මුස්ලිම් වුණත්, බර්ගර් වුණත් මේක මගේ මව් රට. මේකයි ශ්‍රී ලංකාව කියලා. මම එය නැවත කියනවා.
ඒ වගේම තව කාරණයක් කියනවා. සජබ වුණත්, පොහොට්ටුවේ වුණත්, ජනතා විමුක්ති පෙරමුණේ, ටී.එන්.ඒ, ඊ.පී.ඩී.පී වුණත්, එක්සත් ජාතික පක්ෂයේ වුණත්, ස්වාධීන වුණත් අපි සියලු දෙනා එක මවකගේ දරුවෝ. අපි එකතු වෙමු. අපි එකතුවෙලා මේ රට ඉදිරියට ගෙන යමු.
මේක මම වෙනුවෙන් නෙවේ, එකතු වෙන්න ඔබ වෙනුවෙන්. එකතුවෙන්න රට වෙනුවෙන්. අපි කිව්ව බලවත් රට හදන්න, රට ඉදිරියට ගෙනයාමට අපි මේ ගමන ආරම්භ කරමු. පළමුවෙනි අරගලය ඉවර වුණා. රට ගොඩනගන දෙවන අරගලය අපි මෙතැනින් ආරම්භ කරමු. අපි එක් වෙලා බය නැතුව ඉදිරියට යමු. ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් ගොඩනගමු.”
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.