Published on: අගෝස්තු 4, 2022

රට ගැන සිතා සියලු දේශපාලන පක්ෂ සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක් විය යුතුයි. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නාහිමියෝ පවසති.

සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවමින් රටේ දැවෙන ප්‍රශ්නවලවලට කඩිනම් විසඳුම් ලබාදීමට ශක්තිමත් රජයක් අත්‍යාවශ්‍ය බවත්, ඒ සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුකරණය ඉතා වැදගත් බවත් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි හිමිපාණන් වහන්සේ පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස උන්වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ දීය.
අද (04) පස්වරුවේ රාජගිරිය, කලපලුවාව, ගෝතම තපෝවන විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක දොඩම්පහල චන්දසිරි නා හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා, දායක සභාවේ සභාපති අජිත ද සොයිසා මහතා ඇතුළු දායක සභාවේ සාමාජිකයන් විසින් පිළිගනු ලැබිණි.
අනතුරුව බුද්ධ මන්දිරය වෙත ගොස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල් පහන් පූජා කළේය.
මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සමග සාකච්ඡාවේ නිරත වීමෙන් පසු ධාතු මන්දිරයට ගොස් එහි ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනය කොට ජනාධිපතිතුමාට ආශිර්වාද කළහ.
කෘෂිකර්මාන්තයට මුල්තැන දී රට ස්වයංපෝෂිත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කළ යුතු බව පැවසූ උන්වහන්සේ කුසලතාව මත පදනම්ව රැකියා අවස්ථා ඉලක්ක කරගත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම සහ අනාගත ලෝකය ජයගත හැකි සුදුසු විෂයයන් පාසල් විෂයමාලාවට ඇතුළත් කළ යුතු බව ද පෙන්වා දුන්හ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පල්ලේකන්ද රතනසාර මාහිමිපාණන් වහන්සේ ඇතුළු එම නිකාය නියෝජනය කරන සංඝ සභාවල නාහිමිපාණන් වහන්සේ, දායක සභාවේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-04

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.