Published on: නොවැම්බර් 12, 2022

රට කරවන නායකයින් නීතිමය රාමුවක් තුළ රටේ ආර්ථිකයට වගකියන පසුබිම සැකසීමට අඩිතාලම යොදා තිබෙනවා

– ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක

රට කරවන නායකයින් නීතිමය රාමුවක් තුළ රටේ ආර්ථිකයට වගකියන පසුබිම සැකසීමට වත්මන් රජය අඩිතාලම යොදා ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ වත්තල, දික්ඕවිට ධීවර වරාය සංකීර්ණයේ ස්ථාපනය කෙරුණු Northwest Marine Lanka Pvt Ltd හි නව බෝට්ටු අංගනයට මුල්ගල් තැබීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමිනි.

ආර්ථික කළමනාකරණයේදී නොගැළපෙන තීන්දු තීරණ ගැනීමේ ප්‍රතිවිපාක අද අපි රටක් ලෙස අත්විඳිමින් සිටින බව පෙන්වා දුන් සාගල රත්නායක මහතා ඉන් ගොඩඒමට දරණ වෑයමේ දී පෞද්ගලික අංශයේ දායකත්වය ඉතා අගය කරන බව සඳහන් කළේය.

ජනතා පීඩනය ලිහිල් කර රට දියුණු කිරීම ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ බව පැවසූ සාගල රත්නායක මහතා ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් සඳහන් කරන කරණුවලට එහා ගොස් ජනතාව වෙනුවෙන් වූ වගකීම ඉටුකිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව ද පැවසීය.

ශ්‍රී ලංකාව දියුණු කළ හැක්කේ අපනයන කර්මාන්තය දියුණු කිරීම තුළින් බවත් විදේශ අයෝජන ඉහළ නංවා ගනිමින් ඒ සඳහා අවශ්‍ය පසුබිම සැකසීමේ වැඩපිළිවෙළ මේ වන විට රජය ආරම්භ කර තිබෙන බවත් ඒ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල්, සීනෝර් පදනමේ සභාපති ඒ.පී. රාජ්, Northwest Marine Lanka Pvt Ltd හි සභාපති ජගත් උදයකුමාර, අධ්‍යක්ෂ ෂෙවන්ත රොද්‍රිගෝ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.