Published on: මාර්තු 24, 2024

රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කළ හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් පමණයි

  • යහපත් අනාගතයක් වෙනුවෙන් තෝරාගත යුත්තේ කුමන මාර්ගයද කියා තරුණ පරපුර තීරණය කළ යුතුයි.
  • ඇතැම් දේශපාලනඥයන් තම දේශපාලන අනාගතය පිළිබඳ සිතද්දි මම සිතුවේ රට ගැනයි – “යුනයිටඩ් යුත් තරුණ එකමුතුව” සමඟ පැවති සුහද හමුවේ දී ජනපති පවසයි.

මෙරට ආර්ථික ප්‍රකෘතිය උදාකරගත හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළක් තුළින් පමණක් බවත්, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අප අත්විඳී පිඩාවන් මතු පරපුරට උරුම වීමට ඉඩ නොතබා රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේම තමා භාරගත්තේ අනෙකුත් දේශපාලනඥයන් භාර ගැනීමට අකමැති වු රටක් බව සිහිපත් කළ ජනාධිපතිවරයා ඔවුන් තම දේශපාලන අනාගතය පිළිබඳ සිතද්දි තමා සිතුවේ රටේ අනාගතය පිළිබඳව බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “යුනයිටඩ් යුත් තරුණ එකමුතුව” විසින් “තරුණ අපේ අනාගතය” මැයෙන් ඊයේ (23) පොළොන්නරුවේ දී සංවිධානය කර තිබූ සුහද කථා බහට එක් වෙමිනි.

“ජනපති සමඟ කථාබහක්” නමින් පැවැත්වුණු මෙම හමුවේදි රටේ ඉදිරි අනාගතය හා දැක්ම පිළිබඳ ජනාධිපතිවරයා තරුණ තරුණියන් සමඟ සාකච්ඡා කළ අතර ඔවුන් මතුකළ ගැටළු රැසකට ද සාධනීය පිළිතුරු ලබා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රජය සිදුකරමින් සිටින නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි ප්‍රතිලාභ තවත් වසර කිහිපයකින් ජනතාවට ලැබෙනු ඇති බවයි. එබැවින් තමන්ටත්, රටටත් යහපත් අනාගතයක් උදාකර ගැනීම වෙනුවෙන් තමන් ගමන් කළ යුත්තේ කුමන මාර්ගයේ ද කියා

රටේ තරුණ පරපුර තීරණය කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙහිදී තරුණ තරුණියන් ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

මම භාරගත්තේ වැටුණු රටක්. රට භාරගැනීමට දේශපාලන නායකයෝ අකමැති වු රටක්. මම හිතුවා මම මේ රට භාරගත්තේ නැත්නම් රටට මොකක්ද වෙන්නේ කියලා. සමහරු හිතුවා රට භාරගත්තොත් තමන්ගේ දේශපාලනය නැතිවෙයි කියලා. ඔවුන් තමන් ගැන සිතද්දි මම හිතුවේ එම මොහොතේ රට භාරගත්තේ නැත්නම් රට නැතිවෙයි කියලා.

මට තිබු එකම ප්‍රශ්නය වුණේ මම විතරක් තනිවම පාර්ලිමේන්තුවේ සිටීමයි. නමුත් වැටුණු රට ගොඩනැඟිමට හැකි බවට මට විශ්වාසයක් තිබුණා. ඊට පෙර දෙසැම්බර් මාසයේ දී පමණ මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡා කර තිබුණා. ඒ වගේම ලෝක බැංකුව සමග සාකච්ඡා කර තිබුණා.

මම ඒ පිළිබඳ හිටපු ජනාධිපතිවරයාට දැනුම් දීලා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස පැවසුවා. ඒ වගේම පසුගිය මැතිවරණයේ දීත් එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා රටට මුදල් නැහැ, ඒ නිසා ඩොලර් මිලියන 3000ක්වත් සොයාගත යුතු බව. එහිදී අපට ජනතාව ඡන්දය ලබා දුන්නේ නැහැ. නමුත් එම ප්‍රකාශය 2021 දී සත්‍යයක් බවට පත් වුණා.

එවැනි තත්ත්වයකයි මම රට භාරගත්තේ. මම රට භාර නොගත්තානම් කුමක්ද සිදු වන්නේ. මම මේ රටේ වගකීම භාර නොගත්තා නම් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. බිඳ වැටුණු ආර්ථිකය නැවත ගොඩනැගීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට අප කටයුතු කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සාර්ථක වී තිබෙන අතර අපට ණය ලබාදුන් රටවල් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

මෙම සාකච්ඡාවලින් පසු අපේ රටේ සංවර්ධන කටයුතු සඳහා නැවත එම රටවල සහාය හිමි වෙනවා. නමුත් සියලු ප්‍රශ්නවලට එමගින් විසදුම් ලැබෙන්නේ නැහැ. අප තවමත් ආනයන පදනම් කරගත් ආර්ථිකයක්. සෑම වසරකම අපනයනවලට වඩා ආනයන වැඩියි. මෙම පරතරය පියවා ගැනීමට නැවත ණය ලබා ගැනීමට සිදු වෙනවා. එවිට තවත් වසර 10ක් යන විට නැවත රටේ ආර්ථිකය කඩා වැටෙනවා.

අද ඔබ වයස අවුරුදු 27ක තරුණයෙක් නම්, වයස අවුරුදු 37 වන විට ඔබ නැවත මෙම ආර්ථික පීඩනයට මුහුණ දීමට සූදානම් ද කියා ප්‍රශ්න කිරීමට මම කැමතියි. ඉන්ධන නැති වූ, ආර්ථිකය කඩා වැටුණු රටක් භාර ගැනීමට ඒ වන විට කිසිවෙක් සිටිද කියාවත් කිව නොහැකියි. ඒ නිසා අප සියලුදෙනාගේ වගකීම වන්නේ මෙම ආර්ථික අර්බුදය මතු පරපුරට උරුම නොකිරීමයි. ඒ වෙනුවෙන් කැපවීම අප සියලුදෙනාගේ වගකීමක් බව මම විශ්වාස කරනවා. අප කඩිනමින් ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණයක් සිදු කළ යුතුයි. ආනයන පදනම් කරගත් ආර්ථිකයක සිට අපනයන පදනම් කරගත් ආර්ථිකයකට අප ගමන් කළයුතුයි. ඒ සඳහා නගරයේ පමණක් නෙවෙයි ගමේද ආර්ථිකය දියුණු කළයුතුව තිබෙනවා. ඒ වගේම අය වැය පාලනය කළයුතුයි. රජයේ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළහොත් 2035 වසර වන විට ආපනයන ආර්ථිකයකට යොමු වීමට අපට හැකියාව තිබෙනවා. ඉන් පසුව අපට සීග්‍ර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ හැකියි.

ඒ වගේම වසරකට මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 25 සිට ලක්ෂ 50 දක්වා ඉහල නංවා ගැනීමට රජය සැලසුම්සහගතව කටයුතු කරනවා. ඒ වගේම වැඩි මුදලක් වියදම් කරන සංචාරකයන් රටට ගෙන්වා ගත යුතුයි.

එසේම කෘෂි නවීකරණ වැඩසටහන හරහා ගම දියුණු කිරිමට අප කටයුතු කරමින් සිටිනවා. එවිට කෘෂි අපනයන කරා අපට පහසුවෙන් ළගාවිය හැකියි. එහිදි නව වගාවන් හදුන්වාදීමට කටයුතු කර තිබෙන අතර දූරියන් වගාව පිළිබඳ තායිලන්ත රජය සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම මෙරට තිබෙන බෝගවල ඵලදායිතාව ඉහළ නංවා ගැනිම තුළින් ග්‍රාමීය ආර්ථික දියුණු කිරීමට හැකියාව තිබෙනවා.

සූර්ය බලය හා සුළං බලය අපේ රටේ විශාල වශයෙන් තිබෙනවා. ඒ අනුව සුළං සහ තාප බලයෙන් බලශක්ති උත්පාදනයට යොමු වීමෙන් අපට අවශ්‍ය ප්‍රමාණයට වඩා දස ගුණයක් ලබාගත හැකි අතර එහි අතිරික්ත ප්‍රමාණය ඉන්දියාවට අළෙවි කළ හැකියි. ඒ වගේම ඉන්දියාවේ සහය ඇතිව ත්‍රිකුණාමලයේ ආයෝජන කලාපයක් ඇති කිරිමට අක්කර දහසක් වෙන් කර තිබෙනවා. එසේම මහවැලි ඒ සහ බී කලාප සංවර්ධනය කර නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරිමට සැලසුම් කර තිබෙනවා.

බිංගිරියේ සහ උතුරේ නව ආයෝජන කළාප ඇති කිරීමට කටයුතු කර තිබෙන අතර ඒ සඳහා අවශ්‍ය ඉඩම් මේ වන විටත් වෙන් කර තිබෙනවා. ඊළග වසර 05 තුළ මෙම වැඩසටහන් ක්‍රියාත්මක කළයුතුයි.

මම මේ සියල්ල සිදු කරන්නේ ඔබේ අනාගතය වෙනුවෙන්. ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බව කිවයුතුයි.
තවද, මෙම හිගුරක්ගොඩ ප්‍රදේශය දියුණු කිරීමට අප කටයුතු කර තිබෙන අතර, හිගුරක්ගොඩ ගුවන් තොටුපළ ඉදිකිරීම වෙනුවෙන් මෙම වසරේදී මුදල් ලබා දිමට කටයුතු කළා. ඒ තුළින් මෙම පළාතට අභ්‍යන්තර ගුවන් සේවා ලැබෙනවා.

ඒ වගේම පොළොන්නරුව ඓතිහාසික පුරවරය සංචාරකයන්ට දිවා රාත්‍රියේ විවෘත කළ හැකියි. අපේ සංස්කෘතිකාංග සහ නවීන නැටුම් ගැයුම් සහ දේශීය ආහාර පාන එක් කර සංචාරක වැඩසටහන් සැකසීමේ හැකියාව තිබෙනවා. මෙම සියලු කටයුතු සමඟ අප ඉදිරියට යා යුතුයි.

ඒ නිසා රට වෙනුවෙන් ගමන් කළ යුත්තේ කුමන මාර්ගයේ ද කියා තරුණ පරපුර තීරණය කළයුතුයි. ඔබ ඔබේ අනාගතය තීරණය කරන්න. මොකද අපේ දේශපාලනයේ සිටින බොහෝ දෙනෙක් තෙල් බෙහෙත් කාරයෝ. තෙල් බෙහෙත් අරගෙන කිසිවෙක් සුව වී නැහැ.ඒ නිසා ඔබ අනාගතය පිළිබඳ කල්පනාකරීව කටයුතු කළ යුතු බව මම ප්‍රකාශ කරනවා.

මෙහිදී තරුණ තරුණියන් මතුකළ ප්‍රශ්න සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් පිළිතුරු මෙසේය,

ප්‍රශ්නය:
ලංකාපුර ග්‍රාමසේවා වසමට අයත් කුඹුරු විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඇතැම් කුඹුරු වන ජීවී දෙපාර්තමේන්තුවට අයත්ව තිබෙනවා. අපට වගා කටයුතු සඳහා එම කුඹුරු යළි ලබාදෙන ලෙස ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

පිළිතුර:
1985 වසරේ සිතියමට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් තිබෙනවා. ඒ වගේම එම සිතියමට අනුව ගම්මානවලට අයත් ඉඩම් ද තිබෙනවා. එම නිසා අපි මේ පිළිබඳ සොයා බලා ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය:
තරුණ තරුණියන් වශයෙන් ඔබතුමා කෙරෙහි අප තුළ පැහැදීමක් තිබෙනවා. මේ ප්‍රදේශය ඩොලර් ඉපැයිය හැකි ප්‍රදේශයක්. අපේ ගම්වලට එන වන අලින් පෙන්වා විදේශකයන්ගෙන් ඩොලර් උපයා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා අපට පුහුණුවක් ලබා දී රටට ඩොලර් උපයා ගැනීමට වගේම අපටත් ආදායමක් ලැබෙන ලෙස කටයුතු කිරීමට ඇති හැකියාව පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමු කරනවා.

පිළිතුර:
මෙරට සංචාරක ව්‍යාපාරය අද විශාල දියුණුවක් ලබමින් තිබෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම සම්බන්ධයෙන් මේ වන විට කමිටුවක් ද පත් කර තිබෙනවා. ඒ අනුව මේ පිළිබඳ ඉදිරියේදී විසදුමක් ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කිරීමට කැමතියි.

ප්‍රශ්නය:
අපි ජීවත් වෙන්නේ වැලිකන්ද ප්‍රදේශයේ ඈත දුෂ්කර ගමකයි. රජයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් වගා කටයුතු සිදු කිරීම සඳහා අපට ඉඩම් ලබා දෙන ලෙස ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

පිළිතුර:
1977 වන විට වැලිකන්ද ප්‍රදේශය පැවතුනේ මහා වනාන්තරයක් ලෙසයි. වැලිකන්ද සහ මාදුරුඔය අද කෘෂිකර්මාන්තය සඳහා ඉතා හොඳ ප්‍රදේශ බවට පත්ව තිබෙනවා.කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ නවීන කෘෂිකර්මාන්තය ගමට ගෙන ඒමට අප සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම අප ආරම්භ කර තිබෙන උරුමය වැඩසටහන යටතේ ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන මේ වන විට ආරම්භ කර තිබෙනවා. ලක්ෂ 20ක ජනතාවට නීත්‍යානුකූල ඉඩම් අයිතිය හිමිවන එම වැඩසටහන තව මාස දෙකක් ඇතුළත අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමටත්, කෘෂි නවීකරණ වැඩසටහන යටතේ වගා කටයුතු ප්‍රවර්ධනය කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය:
සංචාරක කර්මාන්තය තුළ දිඹුලාගලට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. මේ පිළිබඳ අවධානය යොමු කිරීම සුදුසු බව මම යෝජනා කරනවා.

පිළිතුර:
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමග දැන් රටේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ අනුව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් රජය විශේෂ අවධානයක් යොමු කර තිබෙන අතර මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව වර්ධනය කර ගැනීමට රජය සැලසුම්සහගතව කටයුතු කරනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම තවදුරටත් ඉහළ නංවා ගැනීම අපේක්ෂාවයි. එහිදී සංචාරක ආකර්ශණය දිනාගත හැකි ප්‍රදේශ ලෙස සියලු ප්‍රදේශ සංවර්ධනය කිරීමට රජය අවධානය යොමු කර තිබෙන බව කිවයුතුයි.

ප්‍රශ්නය:
ජනාධිපතිතුමනි, මම නීතිය හදාරන සිසුවෙක්. ජනතා විමුක්ති පෙරමුණ විසින් 1989 වසරේ දී මගේ පවුලේ සාමාජිකයින් 06 දෙනෙක් එක් දිනකදී මරා දමා මිලියන 08ක දේපළ කොල්ළ කෑවා. ඔවුන්ගේ මෘත දේහ පවා කනත්තට ගෙන යාමටවත් ඉඩ දුන්නේ නැහැ. තවමත් ජනතා විමුක්ති පෙරමුණේ අවතාර තිබෙන නිසා අප පසුවන්නේ බියෙන්.

එම පවුලේ වත්මන් සාමාජිකයෙකු වූ මටද මගේ ව්‍යාපාර කටයුත්තක්වත් කර ගැනීමට නොහැකි පරිදි හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාව සතු ප්‍රධාන වීදීයේ තිබු මගේ කඩ කාමරය දේශපාලන පළිගැනිම් හේතුවෙන් මට අහිමිකර තිබෙනවා. දශක තුනක කාලයක් මම වැනි තරුණයන් බොහෝ පිරිසක් මේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ අතර ඒ හේතුවෙන් අපට සුදුසු තැන නොලැබී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමාට යම් වැඩපිළිවෙළක් තිබෙනවාද කියා දැන ගැනීමට කැමතියි.

පිළිතුර:
අප ඒ පිළිබඳ අවධානය යොමු කර කටයුතු කිරීමට සූදානම්. ඔබගේ අධ්‍යාපන කටයුතු නිසි ලෙස කරගෙන යාමට සුබපතනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මින්නේරිය ආසන සංවිධායක ජගත් සමරවික්‍රම, යුනයිටඩ් යූත් උපදේශක මණ්ඩල සභාපති සුදත් චන්ද්‍රසේකර, එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් අසංක රත්නායක, ජාතික සංවිධායක විජිත් අනුරාධ යන මහත්වරු සහ පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.