Published on: පෙබරවාරි 20, 2024

යෝජිත ධීවර පනතින් ධීවර ප්‍රජාවගේ අයිතිවාසිකම්වලට කිසිදු හානියක් නැහැ – ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ආධාර ඇතිව ජලජීවී වගාව සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

යෝජිත ධීවර පනත තුළින් ධීවර ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන අතර ඔවුන්ට කිසිදු හානියක් සිදු නොවන බවට පොරොන්දු වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මෙසේ ද පැවසීය,

සංශෝධිත නව ධීවර පනත් කෙටුම්පත නුදුරේදී සම්මත කරගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම්ව පවතිනවා. ධීවර කර්මාන්තය සංවර්ධන කිරීම තුළින් මත්ස්‍ය අස්වැන්න ඉහළ නංවා ගැනීමට බලාපොරොත්තු වනවා. යෝජිත ධීවර පනත් කෙටුම්පත පිළිබඳ ධීවර වෘත්තීය සමිති සියල්ල දැනුවත් කරමින් ඔවුන්ගේ අදහස් අනුව පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරනවා. අදාළ පනත තුළින් ධීවර ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන අතර ඔවුන්ට කිසිදු හානියක් සිදුනොවන බවට ද අප පොරොන්දු වනවා.

ඒ වගේම ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා ද අප මේ වන විට කැඳවීම් කර තිබෙනවා. එමෙන්ම විදෙස් ආයෝජන ද උපයෝගී කරගනිමින් ධීවර ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම අපගේ අරමුණයි. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ආධාර ඇතිව ජලජීවී වගාව ද සංවර්ධනය කිරීමට කටයුතු කරනවා.

එමෙන්ම මුහුදේ උෂ්ණත්වය වර්ධනය වීම සහ නීති විරෝධී ධීවර කටයුතු නිසා මත්ස්‍ය සම්පත ලෝකයෙන් හීන වී යමින් තිබෙනවා. ජලජ ජීවීන්ගේ ආහාර සඳහා ඉස්සන්, කකුළුවන් මෙන්ම මුහුදු පැළෑටි වගාව මේ වනවිට දීප ව්‍යාප්තව සිදු කරමින් සිටින බව සඳහන් කළ යුතුයි.

ඒ වගේම මීගමුව ධීවරයන් කාදිනල් හිමිපාණන්ගේ නිවස ඉදිරිපිට පැවැත්වූ විරෝධතාව මගේ අවධානයට යොමු කර තිබුණා. මෙම ගැටලුව විමර්ශනය කිරීම සඳහා මටත් සදාචාරාත්මක වගකීමක් තිබෙනවා. ඒ නිසා අදාළ පාර්ශ්ව හමුවෙලා ඒ අය සමඟ සාකච්ඡා කර සාධාරණ විසඳුමක් ලබා දීමට මම බලාපොරොත්තු වනවා.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.