Published on: ජූනි 18, 2024

යෝජිත කුලී ආදායම් බද්ද සාමාන්‍ය ආදායම් ලබන කිසිඳු පුද්ගලයෙකුගෙන් අය නොකෙරෙන බවට ජනපතිගෙන් සහතිකයක්

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය අධ්‍යයනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් අවශ්‍යයි.

  • සමලිංගික විවාහ පිළිබඳ සම්බන්ධයක් මෙම පනතට නැහැ.
  • බුදු දහමට තිබෙන රැකවරණයත්, කාන්තා අයිතිවාසිකමුත් ආරක්ෂා වන පරිදි තීන්දු ගත යුතුයි – ජනපති.

පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදායම් ලබන්නන් වෙත පැනවෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

සාමාන්‍ය ආදායම් ලබන කිසිඳු පුද්ගලයෙකුගෙන් මෙම බද්ද අය නොකරන බවටත් ජනාධිපතිවරයා සහතික විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (18) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ රීති ප්‍රශ්නයක් මතු කරමින් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අවශ්‍ය බවයි.
එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති තීරණය කාන්තාවන්ගේ අයිතිවාසිකම්වලට මෙන්ම බුදුදහම ආරක්ෂා කිරීමට ද

අභියෝගයක් එල්ල කරන ගැටළු සහගත තීරණයක් බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් වැඩිදුරටත් මෙසේද පැවසීය,

ගරු කථානායකතුමනි, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ඔබතුමා විසින් කියවනු ලැබූවා. එය ඔබතුමා විසින් මේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙනවා. නමුත් එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය යටතේ මෙම සභාවට ඇති බලතල උල්ලංඝණය වන බවත්, ඒ සඳහා අප තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවටත් වන රීති ප්‍රශ්නයක් මතු කිරීමට මට අවශ්‍යයි.

2011 වසරේ සිට කාන්තා සවිබල ගැන්වීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් තිබෙනවා. මේවා 5 වන තිරසාර සංවර්ධන ඉලක්කය යටතේ සහ අප අත්සන් කර ඇති කාන්තා සම්මුතීන් මෙන්ම ගිවිසුම් ගණනාවක් යටතේ රජයට ඇති වගකීම් බවට පත් වෙනවා.

ඊටත් වඩා, කමලාවතී සහ වෙනත් අය එදිරිව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව යන නඩුවේදි, ජාතික ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලයේ බල සීමාව තුළ සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරනු ලැබුවා.

එය පාර්ලිමේන්තුව විසින් සිදු කරනු ලැබූවක්. එය දේශපාලන කාරණයක්. ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිම අයුරකින් මේ පිළිබඳ තීන්දුවක් දෙන්න බැහැ. එවැන්නක් සිදු වුවහොත් ඔවුන් අපේ බල සීමාවට ඇතුළු වෙනවා.

දෙවනුව, කාන්තාවන්ගේ සමානාත්මතාවය සහ සමාජභාවය පිළිබඳ ප්‍රශ්නය මත ලබා දී ඇති නඩු තීන්දු විශාල සංඛ්‍යාවක් තිබෙනවා.

රත්නායක තරංගා ලක්මාලි එදිරිව නිරෝෂන් අබේකෝන් සහ පොලිස්පති නඩුවේදී මිනිසුන්ගේ අභිමානය සහ යහපැවැත්ම මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබෙනවා. ඊළඟට දස පුද්ගල විනිසුරු මඩුල්ල එදිරිව සරත් ජයසිංහ සහ තවත් අය පිළිබඳ නඩුව ද තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක හෝ එහි සංශෝධනවල අන්තර්ගත වටිනාකම් දැනගැනීමට ව්‍යවස්ථාවක භාවිතා වන පාඨය මත පමණක් රඳා සිටීම ප්‍රමාණවත් වන්නේ නැහැ.

ඒ හා සමානව, සමානාත්මතාවය පිළිබඳ සංකල්පය පාලනය කරන මූලික මූලධර්මය අසාධාරණය ඉවත් කිරීම බව සඳහන් කෙරෙන, කරුණාතිලක එදිරිව ජයලත් ද සිල්වා සහ වෙනත් අය යන නඩුව සම්බන්ධයෙන් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය විසින් ලබාදුන් විනිශ්චය තිබෙනවා. එය සමානාත්මතාවය ප්‍රතික්ෂේප කරන සහ එමඟින් වෙනස් කොට සැලකීමේ ක්‍රියාව දැඩි ලෙස තහනම් කර තිබෙනවා.

අවසාන වශයෙන්, අගවිනිසුරුවරයා විසින් ලබාදුන් දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනය පිළිබඳ විශේෂ තීරණය ද ඔවුන් නොසලකා හැර තිබෙනවා. මෙහිදී අපි කතා කරන්නේ කාන්තාවන් සවිබල ගැන්වීම සහ කාන්තාවන්ට සමානාත්මතාවය තහවුරු කිරීම පිළිබඳවයි.

නමුත් 5 වන තිරසාර සංවර්ධන ඉලක්කයට අනුව අනෙකුත් සුළු කොට්ඨාසයන්ට පවා භේදයකින් තොරව රජයේ සේවාවන් ලබාගැනීමේ හැකියාව පැවතිය යුතුයි. එය කෙසේ වෙතත් මූලික අයිතිවාසිකම් යටතේ අපට ලබා දී ඇති සාමාන්‍ය බලතල අනුව කටයුතු කළ යුතුයි.

නමුත් මෙම තීරණය මගින් මේ සියලු බලතල නොසලකා හැර තිබෙනවා. එක් අතකින් උසාවිය සියල්ල පසෙකට දමා ඔවුන්ට මේ සඳහා අවස්ථාව පවතින බව ප්‍රකාශ කරමින් සිටිනවා. එමඟින්, පෙර ලබාදුන් තීන්දු සියල්ලම අතුරුදහන් වී තිබෙන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. අධිකරණය විසින් මින් පෙර ලබාදුන් සෑම තීන්දුවක්ම මේ මගින් ඉවත දමා තිබෙනවා. ඉතින් ඔවුන් එක්තරා ආකාරයකට අධිකරණමය වශයෙන් හානිදායක ක්‍රියාවක් සිදු කරන අතරම එය පිළිගන්නා ලෙස අපෙන් ඉල්ලා සිටිනවා. නමුත් එය මෙම ගරු සභාවට කළ නොහැකියි. ඔවුන් දස පුද්ගල විනිසුරු මඩුල්ලක් සහ අගවිනිසුරුවරයා අභිබවා යන්නේ කෙසේද?

ඒ වගේම මෙම පනත මගින් සමලිංගික විවාහ සහ ස්ත්‍රී පුරුෂභාවය සඳහා ඉඩ දෙන බව ද ප්‍රකාශ කර තිබෙනවා. මෙම පනතට ඒ පිළිබඳ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා මීට ඉඩ නොදිය යුතුයි. සෑම නීතියකම ඇතුලත් වෙන මේ සාමාන්‍ය වගන්තිය පිළිබඳ ඔවුන් ප්‍රශ්න කර තිබෙනවා. එය ඇතුලත් කරන්නේ අප නෙවෙයි, නීති කෙටුම්පත් සම්පාදකයා සහ නීතිපතිවරයායි. මෙම නීතිය අනෙකුත් නීතිවලට වඩා බලපවත්වන නමුත් මෙයද අර්ථකථනය කර තිබෙනවා. එය අවසාන වශයෙන් අධිකරණයට පැවරෙනවා. ඒ වගේම මම හිතන්නේ චාමර සම්පත් මහතා (රාජ්‍ය අමාත්‍යවරයා නොවෙයි) ඒ වගේම නීල් ඉද්දවෙල මහතා ද කරුණු සඳහන් කළා. මෙය සාමූහිකව කෙටුම්පත් කර තිබෙනවා. අනික මේ රටේ විවාහ නීති එක කොටසකට වෙනස් කරන්න බෑ.

ඊටත් වඩා මුලික වශයෙන් සමස්ත පිරිවෙන් අධ්‍යාපන පනත මෙයින් ඉවත් කර දැමිය හැකි බව ඔවුන් පවසනවා. ඔවුන් මෙය කුමන පදනමකින් සිදු කළා දැයි මම දන්නේ නැහැ. බුදුදහම ආරක්ෂා කිරීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වගන්තියේ කරුණු ඇතුළත් වෙනවා. එම පනත කෙටුම්පත් කිරීමට දායක වූ සහ එය ක්‍රියාත්මක කළ අමාත්‍යවරයෙකු ලෙස මම ඒ පිළිබඳ දන්නවා.

එම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය මගින් ආරක්ෂා කර තිබෙනවා. ඒ වගේම මෙවැනි කුඩා විධිවිධානයකින් එය වෙනස් කළ හැකි යැයි සිතනවාද? පරියත්ති, පටිපත්ති, පටිවේද යනු කුමක්දැයි ශ්‍රේෂ්ඨාධිකරණය හෝ එහි අසුන්ගන්නා විනිසුරු මඩුල්ල හෝ නොදන්නා බව මම සිතනවා.

මම හිතන්නේ ඒ අය මේ ගරු සභාවට ඇවිත් කියන්න කලින් පන්සලකට හෝ පිරිවෙනකට ගොස් මේ පිළිබඳ ඉගෙන ගත යුතුයි. අප එතන වෙන දේ පිළිබඳ දන්නවා. මෙම ගරු සභාවේ ගෞරවනීය සංඝරත්නය ද වැඩ සිටිනවා. ඉතින් මොවුන් සඳහන් කරන මේ අයිතීන් සහ බෞද්ධයන්ගේ සියලුම අයිතීන් එක කුඩා කොටසකට උදුරගන්න පුළුවන්. ඒවගේම සිදුවන්නට යන්නේ කුමක්ද? බුද්ධාගමට පවතින රැකවරණ සියල්ල ඉවත්වෙනවා. අවසාන වශයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයේ බලය 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙත ආපසු යා යුතුයි. ඕනෑම නෛසර්ගික බලයක් ව්‍යවස්ථාදායක සභාව සහ එය ගොඩනගා ඇති 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් යුක්ති සහගත කළ යුතුයි.

ඒ නිසා පනතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට තීන්දුවක් දෙන්න බැහැ. ඔවුන්ට ලබා දිය හැක්කේ එහි වටිනාකම පිළිබඳ උපදේශන අදහස් පමණයි. මෙය අත්‍යවශ්‍යයෙන්ම පූර්ව ව්‍යවස්ථාදායක පරීක්ෂාවක් වෙනවා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේදී, අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් වීම සහතික කිරීම සඳහා අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය සතු බලතල ශ්‍රේෂ්ඨාධිකරණයට පවරනු ලැබුවා.

නමුත් 1972 දී, පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට පළමු වරට ඉදිරිපත් කර සති දෙකක් ගතවීම අනිවාර්ය නොවන බව ටී.එස්. ප්‍රනාන්දු මහතා තීරණය කළ අවස්ථාවේ මෙම ගරු සභාව එම තීරණය නොසලකා බැහැර කරනු ලැබුවා. මම හිතන්නේ හිටපු ජනාධිපතිතුමා සහ වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා ඒ සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කළා. අනෙකුත් සියලුම කාරණා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල යුක්තියට අදාළ වන බැවින්, මෙම විශේෂිත කාරණය පාර්ලිමේන්තුවට යටත් වෙනවා. නිසැකවම, මෙම අධිකාරිය පාර්ලිමේන්තුවෙන් ආරම්භ වෙනවා. එක් අතකින්, අනෙකුත් අධිකරණ මෙන් නොව, ශ්‍රේෂ්ඨාධිකරණය රූපීය වශයෙන් සංක්‍රාන්ති ලිංගික වෙනවා. එය 4 (ඇ) ව්‍යවස්ථාව යටතේ අධිකරණයෙන් සහ 4 (අ) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවෙන් වශයෙන් මූලාශ්‍ර දෙකකින් එහි අධිකාරිය ලබා ගන්නවා.

ඒ නිසා මෙය සැබවින්ම මේ සභාව විසින් අනුගමනය නොකළ යුතු ගැටළු සහගත තීරණයක්. ඒ වගේම ඒ ගැන සොයා බලන්න විශේෂ කමිටුවක් පත් කරන ලෙස මා නිර්දේශ කරනවා. ඒ සඳහා විනිසුරුවන් කැඳවීමට අවශ්‍ය නැහැ. නමුත් මේ පිළිබඳ අපට අධ්‍යයනය කරන්න පුළුවන් සහ නිර්දේශ ලබාදීමට පුළුවන්. එම තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ගෙන් බහුතරයක් පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසඳයෙන් පත් කළ යුතුයි. කෙසේවෙතත් මෙය කාන්තාවන්ට අදාලයි. එයින් සිදුවන්නේ රටේ ජනගහනයෙන් බහුතරය වන කාන්තාවන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් අහිමි වීමයි. ඒ වගේම එයින් තවත් බහුතරයක් වන බෞද්ධයින්ගේ ආරක්ෂාව ද ව්‍යවස්ථාවෙන් අහෝසි වෙනවා. එබැවින් අපට මෙය පිළිගැනීමට නොහැකියි. එසේනම් මේ ගරු සභාවට තමන්ගේ අයිතිවාසිකම් තහවුරු කරගැනීමට සිදු වෙනවා.

ගරු කථානායකතුමනි, මට සඳහන් කළ යුතු කාරණයක් තිබෙනවා. භූමදානය කිරීම් සහ කොවිඩ්-19 වසංගතය අතරතුර සිදු වූ දේ පිළිබඳව බොහෝ සාකච්ඡා සහ සිත් රිදීම් ඇති වී තිබෙන බව ඔබ දන්නවා. ඔබ දන්නවද මමත් ඒ සම්බන්ධයෙන් මැදිහත් වුණා. මුලදී, සියලුම රටවල් භූමදාන කිරීම නතර කළා. ඉන් අනතුරුව එය ලෝක සෞඛ්‍ය සංවිධානය හමුවට ඉදිරිපත් කළා. නමුත් ශ්‍රී ලංකාවේ අපි කමිටුවක් පත් කළා. අවාසනාවකට මෙන්, එම කමිටුව අපට භූමදානය කිරීමට ඉඩ නොදෙන ලෙස නිර්දේශ කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනස් මතයක් ගත්තා. එහෙත් පසුව එම කමිටුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ද තහවුරු කළා. ඒ නිසා රජයට එය අනුගමනය කිරීමට සිදු වුණා. ඒ අවස්ථාවේ දී විකල්පයක් තිබුණේ නැහැ. නමුත් දැන් මේ සියල්ල අවසන් වී තිබෙනවා.

ඒ වගේම අප මේ හැමදේටම මුහුණ දී තිබෙනවා. මේ රටේ ඕනෑම කෙනෙකුට තමන්ව මිහිදන් කළ යුතුද ආදාහනය කළ යුතුද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා අයිතියක් තිබිය යුතුයි. එම නිසා මියගිය පුද්ගලයෙකුගේ සිරුර භූමදාන කිරීම, ආදාහනය කිරීම හෝ දේහය වෛද්‍ය පීඨයට පරිත්‍යාග කිරීම පිළිබඳ අයිතිය ලබා දෙන නීතියක් විෂයභාර අමාත්‍යවරයා විසින් ගෙන ඒමට නියමිතව තිබෙනවා. මෙම කාලය තුළ ප්‍රධාන වශයෙන් මුස්ලිම් ජනතාවටට විශාල සිත් රිදවීම් ඇතිවුණා. නමුත් මරණයෙන් පසුව මිහිදන් කිරීමට කැමති මම දන්නා හින්දු, බෞද්ධ සහ ක්‍රිස්තියානි අය ද සිටිනවා. එබැවින් සිදු වූ දේ පිළිබඳ අප ඔවුන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ සම්බන්ධව ඉදිරිපත් කෙරෙන පනත් කෙටුම්පතට මෙම සභාවේ සහාය ලබාදෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම යෝජිත කුලී ආදායම් බද්ද සම්බන්ධයෙන් ද මෙම සභාවට අදහසක් ප්‍රකාශ කිරීමට තිබෙනවා. අප ධන බද්දක් හඳුන්වාදෙනවා. ඒවගේම එහි සීමාව ඉතා ඉහළ මට්ටමක පවතිනු ඇතියි. එබැවින් රටේ ජනතාවගේ නිවාසවලින් 90% ක් මෙයින් නිදහස් වෙනවා. ඒ නිසා සාමාන්‍ය ජනතාව මේ පිළිබඳ කරදර විය යුතු නැහැ. ඔබේ නිවස ආරක්ෂිතයි.

නමුත් අප කුලී ආදායම් බද්ද පනවන්නේ ශ්‍රේණිගත කිරීම මත පදනම්ව ගත් තීරණයක් අනුවයි. ඉන් අනතුරුව අපිට ගැටළුවක් ඇතිවුණා. එම ශ්‍රේණිගත කිරීම් අයත් වන්නේ පළාත් සභාවලටයි. එහිදී ශ්‍රේණිගත කිරීම් ලයිස්තුව අනුව මේ බද්ද පැනවුවහොත් එමගින් ලැබෙන මුදල් අයත් වන්නේ පළාත් සභාවට යැයි අධිකරණයට පැවසිය හැකියි. ඒ නිසා අප ඒ සඳහා අනුමැතිය පාර්ලිමේන්තුවෙන් ගත යුතුයි. ඉතින් අප කුලී ආදායම බද්ද යනුවෙන් වෙනස් සූත්‍රයක් පාවිච්චි කර තිබෙනවා. එම ආදායම් බද්ද මධ්‍යම රජයට අයත් වෙනවා.

අප සාමාන්‍යයෙන් මෙම ශ්‍රේණිගත කිරීම් භාවිත කර තිබෙනවා. පවතින නෛතික ගැටළුව විසඳීම සඳහා අප මෙය සිදු කළා. නමුත් එහි බදු සීමාව ඉතා ඉහළ බව සඳහන් කළ යුතුයි. ඒ වගේම මේ රටේ අති බහුතරයක් ජනතාව තමන්ගේ නිවස පිළිබඳ කලබල විය යුතුයි කියලා මා හිතන්නේ නැහැ. නමුත් අපට ධන බද්ද පැනවීමට සිදු වෙනවා. සමගි ජන බලවේගයේ බොහෝ දෙනෙක් ඔවුන් සමඟ සිටින ප්‍රකෝටිපතියන්ගෙන් බදු අය කරනු ඇතැයි කියා දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ද මම දන්නවා.

එසේම ජනතා පරමාධිපත්‍ය ද පවත්වාගෙන යා යුතුයි. එම පරමාධිපත්‍ය තිබෙන්නේ පාර්ලිමේන්තුවට සහ ජනාධිපතිවරයාටයි. මෙම අවස්ථාවේ එම ආයතන දෙකම සිටින්නේ එකම ස්ථානයකයි. අධිකරණයට බලතල ලැබෙන්නේ පාර්ලිමේන්තුව හරහායි. 1971 මැතිවරණයෙන් අප තීරණය කළේ එයයි. ලියනගේ එරෙහි රැජිණි නඩුවෙන් මෙම බලතල තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට කියා ප්‍රකාශ කෙරුණා. ඒ පිළිබඳ විශාල විවාදයක් ද ඇති වුණා. එක්සත් ජාතික පක්ෂයේ අප ප්‍රකාශ කළේ මෙය 2/3ක ඡන්දයකින් වෙනස් කළ හැකි බවයි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කළේ එය 2/3කින් සිදුකළ නොහැකි බවයි. නමුත් 1970 දී 2/3ක් එම කණ්ඩායමට හිමි වුණා. ඒ අනුව මෙම බලය ලැබෙන්නේ ව්‍යවස්ථාදායක සභාවෙන් සකස් කෙරෙන ව්‍යවස්ථාවෙන් බවට අප සියලුදෙනා එකඟ වුණා. ඒ බලය ගත්තේ ජනතා පරමාධිපත්‍යයයි. එය අප මෙතෙක් වෙනස් කර නැහැ.

නමුත් 1978 ව්‍යවස්ථාවේදී ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් අප ජනමත විචරණයක් ගෙන ආවා. ඒ නිසා මෙම සභාවේ අයිතිවාසිකම්වලට අත ගැසීමට මට අවශ්‍ය නැහැ. 1978 දී අප අධිකරණයේ නිදහස තවත් ශක්තිමත් කළා. මේ අවස්ථාවේ අධිකරණය ගෙන තිබෙන්නේ අධිකරණ සතු බලතල නොවෙයි. මොකද මේ රටේ නීති සම්මත කරන්නේ පාර්ලිමේන්තුවයි. ඒ පිළිබඳ කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකියි. එසේනම් නීතිය ව්‍යවස්ථා විරෝධිද නැද්ද කියා උපදෙස් ලබාදීම පමණක් සිදුකළ යුතුයි. අප ව්‍යවස්ථාදායක අධිකරණයක් ඇති කර තිබෙනවා. නවසිලන්තය, ෆින්ලන්තය වැනි රටවල ගෙන එන නීති ව්‍යවස්ථාවට අනුකූලද, නැද්ද තීරණය කරනු ලබන්නේ පාර්ලමේන්තු තේරීම් කාරක සභාව විසින්.

පසුව 1978 දී අප තීරණය කළා මේ සඳහා වෙනම අධිකරණයක් අවශ්‍ය නැහැ ඉන් සිදු වන්නේ මුදල් නාස්තියක් පමණයි කියලා. මම කර තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය තවත් ශක්තිමත් කර පාර්ලිමේන්තුව වෙනුවෙන් බලය ලබාදීම පමණයි.

අධිකරණය විසින් ලබා දුන් තීරණයක් පිළිබඳ කැබිනට් මණ්ඩලයට තීරණයක් ගත නොහැකි බව මතක තබා ගත යුතුයි. මේ පිළිබඳ වෙනත් පක්ෂවලින් විවිධ අදහස් හා විරෝධතා ප්‍රකාශ කෙරුණා. නමුත් එක කමිටුවකින් තීරණයක් ලබා දුන්නා. කෙසේ හෝ අධිකරණයට ගියා. අධිකරණය එය තහවුරු කළා. ඉන් පසුව ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ.

මම මෙතනට ආවේ අතීතය ගැන කතා කරන්න නෙවෙයි. මට එය අවශ්‍ය නැහැ. නමුත් රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයා අත්අඩංගුවේ සිටියදී කවුද කථා කළේ කියලා මට අවහ්‍ය නම් කියන්න පුළුවන්. ඒ සියල්ල අමතක කර අප සාකච්ඡා කරමින් ඉදිරියට යමු. මෙතනට අන්තවාදය අවශ්‍ය නැහැ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.