ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ තේ කර්මාන්තය හා සම්බන්ධ ආයතනවල නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (17) පැවැත්විණි.
මෙරට තේ කර්මාන්තය ආශ්‍රිතව මතු වී ඇති ගැටලු සම්බන්ධව මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර
තේ දලුවල ගුණාත්මකභාවය සහ තේ වගාවේ ඵලදායීතාව ඉහළ නැංවීම, නව අන්තර්ජාතික වෙළෙඳපොළ අවස්ථා සෙවීම ආදී කරුණු පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.
තේ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳවද සාකච්ඡා කළ අතර, ඒවාට ලබාදිය හැකි සාධනීය විසදුම් ලබා දීමට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.
කුඩා තේ වතු හිමියන්ගේ ධාරිතා සංවර්ධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමද සාකච්ඡා කෙරුණු අතර, එහිදී තේ නැවත වගාව සඳහා කර්මාන්තකරුවන්ගේ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවද සාකච්ඡාවට බඳුන් විය.
තේ වගාව සම්බන්ධයෙන් විධිමත් දත්ත පද්ධතියක් සකස් කිරීම ඇතුළු තේ වගාව සම්බන්ධයෙන් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙළ පිළිබඳවත්, එය නිසි ලෙස පසුවිපරම් කිරීමේ අවශ්‍යතාවත් සාකච්ඡා කෙරිණි.
එමෙන්ම, තේ නිෂ්පාදනයේදී ප්‍රමිතිය බාල කරන කර්මාන්ත ශාලාවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස තේ කර්මාන්තකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියේය.
තේ කර්මාන්තකරුවන්, අපනයනකරුවන්, කුඩා තේ වතු හිමියන් සහ රාජ්‍ය නිලධාරීන් අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ වේදිකාවක් ගොඩනඟා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. ඒ පිළිබඳ අදාළ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති ලේකම්වරයා විසින් ප්‍රකාශ කරන ලදී. එමගින්, තේ කර්මාන්තයේ මතුවන ගැටලු සවිස්තරව විමර්ශනය කර, කඩිනම් හා කාර්යක්ෂම විසඳුම් ලබා ගැනීම අපේක්ෂා කෙරේ.
මෙම සාකච්ඡාවට කුඩා තේ වතු හිමියන්ට ආරාධනා කිරීම සම්බන්ධයෙන් කුඩා තේ වතු හිමියන්ගේ සංගමය මෙහිදී රජයට ප්‍රසාදය පළ කළේය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩබ්ලිව්.එම්.ටී.ඩී වික්‍රමසිංහ, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ආර්.කේ. ඔබේසේකර යන මහත්ම මහත්මීහුද, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීහුද, තේ ක්ෂේත්රය නියෝජනය කරන විවිධ සංගම්වල නියෝජිතයෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.