Published on: ඔක්තෝබර් 16, 2024

මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වෙනවා

දුම්රිය සේවකයින්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරුවන අන්දමින් දුම්රිය මාර්ග ව්‍යාපෘති කඩිනම් කරන්න

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනපති පවසයි

මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

එසේම ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් විය යුතු බවත්, කිහිප දෙනෙකු අතට කොන්ත්‍රාත් ලැබෙනවා වෙනුවට එහි ප්‍රතිලාභ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ජනතාවට ලැබෙන අයුරින් එම ව්‍යාපෘති සැලසුම් කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (16) පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරුණු අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් සම්බන්ධව ද විශේෂ අවධානය යොමු කෙරිණි.

වරාය, ගුවන්තොටුපොළ, මහාමාර්ග සංවර්ධන කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කිරීමෙහි ලා ඉතා වැදගත් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ව්‍යාපෘති විධිමත්ව සැලසුම් කිරීමෙන් ජාතික ආර්ථිකය නඟා සිටු විය හැකි බව ද ප්‍රකාශ කළේය.

දැනට ආරම්භ කර ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පාරිසරික බලපෑම්, මූල්‍යමය බලපෑම්, ප්‍රජාවට සිදුවන බලපෑම් ද සැලකිල්ලට ගෙන අහිතකර බලපැම් අවම කර ගනිමින් කඩිනමින් ඒවා ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී අවධානය යොමු විය.

දුම්රිය මාර්ග සම්බන්ධ ව්‍යාපෘති දුම්රිය සේවකයින්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරුවන අන්දමින් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීහු පිරිසක් ද මෙම සාකච්ඡාවට සහභාගී වුහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.