Published on: මැයි 2, 2024

මහවැලි අධිකාරිය සතු ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ තබන්නේ නැහැ – වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත

මහවැලි අධිකාරිය සතුව පවතින ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ‌ නොතබන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පැවසීය.

එසේම මහවැලි අධිකාරිය සතු ඉඩම් ආශ්‍රිතව තිබෙන ගැටලු උරුමය වැඩසටහන ක්‍රියාවට නැංවීමට සමගාමීව විසඳීමට අවධානය යොමු වී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තයට වැඩි නැඹුරුවක් සහිත රටක්. ඒ වගේම මහවැලි අධිකාරිය ද කෘෂිකාර්මික කේෂ්ත්‍රයට විශාල දායකත්වයක් ලබා දෙනවා. මේ අනුව තේ, රබර්, පොල් සහ සුළු අපනයන බෝග ආශ්‍රිතව පවතින කෘෂි නිෂ්පාදන අප අමාත්‍යාංශය යටතට අයත් වෙනවා.

මහවැලි සංවර්ධන අධිකාරිය සතුව අප රටේ විශාල වේලි 10ක් පවතිනවා. එමඟින් රටට අවශ්‍ය විදුලිය උත්පාදනය කිරීමට ද විශාල දායකත්වයක් ලබාදෙන බව පැවසිය යුතුයි. එම නිසා මෙම අමාත්‍යාංශ දෙක නිසියාකාරව භාවිත කළහොත් අපේ රට කෘෂිකර්මයෙන් ස්වයංපෝෂිත කර ගැනීමට පුළුවන්.

ඒ වෙනුවෙන් දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මඟපෙන්වීම යටතේ කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත යන අමාත්‍යාංශ එක අමාත්‍යාංශයක් යටතට ගෙනැවිත් තිබෙනවා. එමඟින් මේ රටේ කෘෂිකාර්මික කේෂ්ත්‍රය නඟාසිටුවීමේ වැඩසටහන ඉදිරියට ගෙන යෑමට පහසු වී තිබෙනවා. කෘෂි නවීකරණ වැඩසටහන දැනටමත් ආරම්භ කර තිබෙන බව ද කිව යුතුයි.

ඒ වගේම මහවැලි සංවර්ධන අධිකාරිය සතුව තිබෙන ඉඩම් ආශ්‍රිතව ද ගැටලු සහගත තත්ත්වයන් තිබෙනවා. මහවැලි අධිකාරිය සතු ඉඩම් ආශ්‍රිතව තිබෙන ගැටලු ද උරුමය වැඩසටහන ක්‍රියාවට නැංවීමට සමගාමීව විසඳීමට අවධානය යොමු වී තිබෙනවා.

ඉඩම් ඔප්පු හිමිකම නොමැති ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක උරුමය වැඩසටහන ඉතා වැදගත් වැඩසටහනක් බව කිව යුතුයි. මේ යටතේ දැනටමත් සින්නක්කර ඔප්පු 25,000ක් පමණ ලබාදී අවසන් කර තිබෙනවා.

මේ සතිය අවසානයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තවත් පුද්ගලයන් 6000කට සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. ඒ වගේම මහවැලි අධිකාරිය සතු ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ නොතබන බව ද පැවසිය යුතුයි.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.