Published on: නොවැම්බර් 30, 2022

මඩකළපුව දිස්ත්‍රික්කය තුළ සංචාරක ප්‍රවර්ධනය සඳහා ඉඩම් හඳුනා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

මඩකළපුව දිස්ත්‍රික්කය තුළ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ඉඩම් හඳුනා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ඒ අනුව මඩකළපුව දිස්ත්‍රික්කයේ වෙරුගල්ආරු සිට මඩකළපුව දක්වා ඇති වෙරළාශ්‍රිත රජයේ සහ පෞද්ගලික ඉඩම් හඳුනා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

එම ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කරමින් 2023 වසරේදී මඩකලපුව හොඳම සංචාරක ගමනාන්තයක් බවට පත්කර ගැනීම මෙහි අරමුණ වී තිබේ.

මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කේ. කරුණාහරන් මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරු කිහිප දෙනෙකු සූම් තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාවට එක් වූහ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.සී.එම්. හේරත් යන මහත්ම මහත්මීහු සහ රේඛීය ආයතනවල ප්‍රධානීන් ඇතුළු නිලධාරින් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

 

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.