Published on: මාර්තු 3, 2024

බෝරා ප්‍රජාවේ නායක ජනපති හමුවෙයි

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (03) පස්වරුවේ පැජට් පාර පිහිටි ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

මිලියනයකට අධික බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ ඉන්දියාව, පාකිස්ථානය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක වාසය කරති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සුහද කථා බහක නිරත වූ ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළේය.

එමෙන්ම බම්බලපිටිය බෝරා පල්ලිය ආශ්‍රිතව පැවැත්වෙන බෝරා සමුළුව මෙම වසරේදී පැවැත්වීම පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරිණි.

බෝරා ප්‍රජාව විසින් පසුගිය වසර 04ක් පුරා සිදුකළ ආගමික සේවාවන් ඇතුළු විවිධ වැඩසටහන් ඇතුළත් ග්‍රන්ථයක් ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්විණි.

බෝරා ප්‍රජාවේ නායකයන් ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.