බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කාර්මාන්තකරණයක් සිදු කර ඉදිරි වසර 15-20 තුළ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එදා නොදියුණු ප්‍රදේශයක් වූ බියගම ප්‍රදේශය, වෙළෙඳ කලාපය ආරම්භ කිරීමත් සමඟ විශාල දියුණුවක් ලැබූ බවත් ශ්‍රී ලංකාවම ආයෝජන කලාපයක් බවට පත්කර නව ආයෝජන අවස්ථා රැසක් ලොවට විවෘත කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට ඊයේ (06) පස්වරුවේ එක් වෙමිනි.
දැනටමත් කර්මාන්තපුර ඇති කිරීම සඳහා බිංගිරිය, ඉරණවිල, හම්බන්තොට, නුවර, ත්‍රිකුණාමලය සහ උතුරු පළාතේ ද ප්‍රදේශ කිහිපයක් හඳුනාගෙන තිබෙන අතර එම කටයුතු කඩිනම් කරන බවත් ඒ සමඟ එම සියලු ප්‍රදේශ වාණිජ නගර ලෙස ගොඩනැගෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එසේම තම තමන්ගේ දිස්ත්‍රික්ක සංවර්ධනය කිරීම වෙනුවෙන් ආයෝජන අවස්ථා ගෙන ඒමට ජනතා නියෝජිතයන්ගේ කැපවීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
මෙරටට කර්මාන්තපුර සුදුසු නොවන බවට එදා ඇතැමුන් ප්‍රකාශ කළද අද බියගම ආයෝජන කලාපය දකුණු ආසියාවේ හොඳම වෙළෙඳ කලාපය බවට පත්ව ඇති බවත්, රටේ සෑම පළාතකම බියගම සහ කටුනායක වැනි කර්මාන්තකරණයක් සිදු කළා නම් අද රටක් ලෙස ආර්ථික පීඩාවකට ලක් නොවන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
නව ආයෝජන කලාප ඇති කරමින් රටේ ආර්ථිකය සවිමත් කිරීමට කටයුතු කරන අතරම අනාගත තරුණ පරපුරට රැකියා අවස්ථා විවර කරදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
අද පස්වරුවේ මල්වාන අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබූහ.
විද්‍යාලයට වසර සියයක් සැපිරීමට සමගාමීව සමරු මුද්දරයක් නිකුත් කිරීම සහ විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැඟිල්ල සඳහා මුල්ගල් තැබීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.
මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයට ප්‍රථමවරට ජනාධිපතිවරයෙක් පැමිණීම සනිටුහන් කරමින් විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබූ ජනාධිපතිවරයා විද්‍යාලයේ සියවස් සමරු ස්මාරකය ද විවෘත කළේය. විද්‍යාලයේ විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන්ට තිළිණ සහ සහතික පත් ප්‍රදානය කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
මල්වාන අල් මුබාරක් විද්‍යාලයේ සියවස් පූර්ණ සංවත්සර උත්සවයට මට ආරාධනා කිරීම පිළිබඳ මම පළමුව ස්තූතිවන්ත වෙනවා. මේ ප්‍රදේශයට එදා කිව්වේ වල්ගම කියලා. වල්ගම විද්‍යාලය ලෙස ආරම්භ වූ මෙම පාසල පසුව මල්වාන විද්‍යාලය බවට පත් වුණා. මල්වාන විද්‍යාලය මෙම තත්ත්වයට දියුණු කිරීමට මට ද ආධාර උපකාර කිරිමට ලැබීම පිළිබඳ මම විශේෂයෙන් සතුටු වෙනවා.
1977 මම මෙම මල්වාන ප්‍රදේශයට පැමිණෙන විට අල් මුබාරක් විද්‍යාලය දියුණු කර දෙන ලෙස බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලා සිටියා. ඒ බොහෝ දෙනෙක් අද මෙතෙන නැහැ. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාත් මගෙන් ඉල්ලා සිටියා අල් මුබාරක් විද්‍යාලය දියුණු කරන්න කියලා. මේ අසළ නිවසේ සිට තමයි අප අල් මුබාරක් විද්‍යාලය සමග සම්බන්ධකම් පැවැත්වුවේ.
මෙම කාලය තුළත්, මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිටී කාලයේත්, ඊට පසු කාලයේත් අල් මුබාරක් විද්‍යාලයේ විශාල දියුණුවක් ඇති වුණා. ඒ නිසා අද අල් මුබාරක් විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා ගෙන අනාගතය සාර්ථක කර ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා.
මල්වාන ජනතාවගේ පළමු පරමාර්ථය වූණේ තමන්ගේ දූ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදිම. අද මල්වාන විද්‍යාලය ඒ දියුණුව ලබා තිබෙනවා.
1977 මම මල්වානට එන විට මෙය ඉතා නොදියුණු ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ ජීවත්වුණේ දුප්පත් ජනතාවක්. විදුලි බලය තිබුණේ නැහැ. ඇතැම් අය ජිවත් වීමට ගෝනි හේදුවා. තවත් පිරිසක් බීඩි එතුවා. අප මෙම ප්‍රදේශයට පැමිණ පාසල් දියුණු කරන අවස්ථාවේ මම එක පොරොන්දුවක් දී තිබුණා. ඒ මේ ප්‍රදේශයට රැකියා අවස්ථා ලබා දෙනවා කියලා.
ඒ වගේම මෙම ප්‍රදේශය දියුණු කිරීමට කර්මාන්ත අවශ්‍ය බව මම තීරණය කළා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ආරම්භ කර දෙවන නිදහස් කලාපයක් ආරම්භ කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කළා. ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා 1977 බියගම ආසනය මට බාර දීමෙන් පසු මම දේශපාලන කටයුතු ආරම්භ කරන අවස්ථාවේ දී මේ පළාතේ ජනතාව මට විශාල වශයෙන් උදව් කළා.
මෙම නිදහස් වෙළෙඳ කලාපය ආරම්භ කිරීමට අවශ්‍ය ඉඩම් තිබුණේ මෙම ප්‍රදේශයේ විතරයි. බියගම නිදහස් වෙළඳ කලාපය ආරම්භ කළ එම පොල්වතු ඉඩම් අයත්ව තිබුණේ මල්වාන ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවටඑම ජනතාව අපට මෙම ඉඩම් ලබාදුන්නා. ඒ සඳහා අපි වන්දි ලබා දීමට කටයුතු කළා. එදා ගත් එම පියවර නිසා මල්වාන ප්‍රදේශය අද විශාල දියුණුවක් ලබා තිබෙනවා.
බොහෝ අය කිව්වා මෙරට කර්මාන්තපුර සඳහා සුදුසු නැහැ කියලා. නමුත් අප මෙතැනින් පටන් ගත්තා. ඒ සමඟම මෙම පළාතේ යටිතල පහසුකම් සංවර්ධනය වුණා. කඩුවෙල- බියගම පාලම ඉදි කෙරුණා. මහා මාර්ග ඉදි කළා. වසර 05ක් යාමට පෙර මෙහි විශාල දියුණුවක් ඇතිවීමට පටන් ගත්තා.
අද බියගම වෙළෙඳ කලාපය කියන්නේ දකුණු ආසියාවේ ඇති හොඳම වෙළෙඳ කලාපය බවට පිළිගෙන තිබෙනවා. කටුනායක සහ බියගම වෙළෙඳ කලාප එක් කළා නම් ඒ හා තරග කිරීමට වෙන කිසිවෙක් නැහැ. කටුනායක වෙළෙඳ කලාපය තිබු නිසා කර්මාන්තකරණය ඉදිරියට ගෙන යාමට එදා මම සීතාවක වෙළෙඳ කලාපයත් ආරම්භ කළා. අපි කඩුවෙල කර්මාන්තශාලා ආරම්භ කළා. එහි කේන්ද්‍රස්ථානය වුණේ බියගම. මෙම සියලු කර්මාන්ත අපට ලැබුණේ විදේශ ආයෝජන වශයෙන්.
අද මෙහි පැමිණෙන අතරතුර මට සිහිපත් වුණා එදා බෙල්ල කපාපු හන්දය ලෙස හැඳින් වූ ස්ථානයේ තිබුණේ කඩ දෙකක් පමණයි. අද එහි සාප්පු තිබෙනවා. විශාල ගොඩනැඟිලි තිබෙනවා.
ඒ වගේම අද කිරිපිටි කර්මාන්ත ශාලාවක්, කෝකා කෝලා නිෂ්පාදනාගාරයක්, බියර් නිෂ්පාදනාගාරයක් ඇතුළු කර්මාන්ත ශාලා රැසක් එහි තිබෙනවා. ඒ වාගේම ආදායම් මාර්ග රැසක් ඇති වෙලා තිබෙනවා. අද මෙම ප්‍රදේශයේ විරුකියාව නැහැ. මෙම දියුණුව කඩවත ප්‍රදේශයේ අද දකින්න ලැබෙනවා. කිරිබත්ගොඩ සිට දළුගම, සපුගස්කන්ද විශාල දියුණු ප්‍රදේශයක් බවට පත්වී තිබෙනවා. මාකොළ ජනතාව අද ආඩම්බරයෙන් ජීවත් වෙනවා. එදා එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ.
එදා ටයර් සංස්ථාව අලාභ ලබන නිසා වසා දමන්න කියලා කිව්වා. නමුත් අපි කිව්වා එය පුද්ගලිකරණය කර දියුණු කරනවා කියලා. එහිදී විශාල මත ගැටුමක් ඇති වුණා. මට විරුද්ධව හැම තැනම පෝස්ටර් ගැහුවා. අද එම කර්මාන්තශාලාවෙන් ටයර් අපනයනය කරනවා. තවත් කර්මාන්තශාලා ගණනාවක් ඇති වී තිබෙනවා. අද බියගම සහ කැළණිය විශාල වාණිජ කර්මාන්තපුරයක්.
බියගම වැනි කර්මාන්තපුරයක් ලංකාවේ වෙනත් ප්‍රදේශයක ඇති කර නැහැ. අප මෙය තවත් පුළුල් කරමින් මෙම ප්‍රදේශයේ අලුත් සංවර්ධනයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නව රෝහලක් ඉදිකිරීම සඳහා මේ ප්‍රදේශයේ ඉඩමක් ද හඳුනාගෙන තිබෙනවා.
අද මේ රටේ ආර්ථිකය කඩා වැටී තිබෙන අවස්ථාවේ නැවත මෙය ගොඩගැනීමට අප විශාල ලෙස විදේශ ආයෝජන ලබා ගන්නවා. බියගම වැනි වෙළෙඳ කලාප ස්ථාන ගණනාවක ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මම මන්ත්‍රීවරුන්ට කියන්නේ ආයෝජකයන් සොයාගෙන තම තමන්ගේ ප්‍රදේශ දියුණු කරන්න කියලයි. මෙම කටයුතු අප අනිවාර්යයෙන් ඉටු කළයුතුයි.
ලංකාව පුරා බියගම, කටුනායක වැනි වෙළෙඳ කලාප ලංකාව පුරා ඉදිකර තිබුණා නම් අද අප මෙතරම ආර්ථික අපහසුතාවකට ලක් වෙන්නේ නැහැ. රටේ තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් බියගම උදාහරණයක් කර ගනිමින් විශාල කර්මාන්තකරණයක් සිදු කර බියගම, කැළණිය, කඩවත ඇතුළු ප්‍රදේශ විශාල නවීන වාණිජ ආර්ථිකයක් බවටට පත් කිරීමට කටයුතු කරනවා.
බිංගිරිය, ඉරණවිල, හම්බන්තොට, නුවර, ත්‍රිකුණාමලය සහ උතුරු පළාතේ ඒ සඳහා සුදුසු ප්‍රදේශ දැනටමත් හඳුනාගෙන තිබෙනවා. අනෙක් ප්‍රදේශවලටත් එම පහසුකම් ලබාදී ඉදිරි වසර 15 -20ක කාලය තුළ මෙවැනි ශිඝ්‍ර සංවර්ධනයක් දිවයින පුරා ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
මේ රට ආර්ථික වශයෙන් ගොඩනැඟිමේ දී අප මෙම සැලසුම්වලට යා යුතුයි. අපි ණය ගෙවීම සඳහා මුදල් ඉපැයිය යුතුයි. අප මෙම වැඩසටහන් තුළින් වියට්නාමය, තායිලන්තය, මැලේසියාව වැනි රටවල් ලබාගෙන තිබෙන දියුණුව ඇති කර ගනීමට කටයුතු කරමු.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා ද උත්සව සභාව ඇමතීය.
රාජ්‍ය ආමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර, කාදර් මස්තාන්, මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති එස්.එච්.එම්. නයිම් යන මහත්වරු සහ ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.